
Microsoft සමාගමේ සේවාවන් රැසක් බිඳ වැටේ
FM Heart · 2 min read
ලොව පුරා පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කරමින් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ සේවාවන් රැසක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. සම්බන්ධතා ගැටලු (Connectivity problems) හේතුවෙන් Teams, Outlook සහ එම සමාගමේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය වන Copilot ඇතුළු සේවා රැසකට මෙලෙස බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. “බලපෑම අවම කිරීම සඳහා අපි සියලු ක්‍රමවේද ඔස්සේ කඩිනමින් කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගම සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. අන්තර්ජාල සේවා බිඳ වැටීම් නිරීක්ෂණය කරන Downdetector වෙබ් අඩවියට අනුව, බ්‍රහස්පතින්දා ග්‍රිනිච් මධ්‍යම වේලාවෙන් (GMT) පස්වරු 6:00ට පමණ Outlook සේවාවේ ගැටලු සම්බන්ධයෙන් ලොව පුරා වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 140,000කට ආසන්න වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම බිඳ වැටීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් බවට කිසිදු සලකුණක් නොමැති බවයි බී.බී.සී (BBC) පුවත් සේවය වාර්තා කරන්නේ. ව්‍යාපාරික ආයතන අතර ඉතා ජනප්‍රිය සේවාවක් වන Microsoft 365 පැකේජයට අයත් Outlook, Teams සහ OneDrive වැනි මෘදුකාංගවලට මෙමඟින් බලපෑම් එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර ආයතනවල සේවකයින්ට ලොව පුරා සිටින සිය සගයන් සමඟ සම්බන්ධ වීමට සහ කටයුතු කිරීමට මෙම වේදිකාව අත්‍යවශ්‍ය මෙවලමක් වනවා. මෙම තත්ත්වය හේතුවෙන් පරිශීලකයින්ට ඇතැම් ගොනු (Files) හෝ ඔවුන්ගේ දින දර්ශන යෙදුම්වල (Calendar apps) තොරතුරු නැරඹීමට නොහැකි විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා. එමෙන්ම ඔවුන්ගේ Copilot කෘත්‍රිම බුද්ධි වේදිකාව ද නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇති බව සඳහන්. කෙසේ වෙතත් පණිවිඩ හුවමාරු කිරීම (Messaging) සහ මාර්ගගත රැස්වීම් (Online meetings) බොහෝ දුරට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම සමාගම වැඩිදුරටත් පවසනවා. සර්වර් (Servers) කිහිපයක් “අනපේක්ෂිත ලෙස අක්‍රිය වීම” මෙම බිඳ වැටීමට හේතු වී ඇති බවත්, ඒ හේතුවෙන් ඉතිරි පද්ධති මත අධික තදබදයක් ඇති වී තිබෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම X ගිණුම හරහා දැනුම් දී තිබෙනවා. සිය සේවාවන්හි පවතින ගැටලු නිරාකරණය කිරීමට සමාගම කටයුතු කරමින් සිටින බව මයික්‍රොසොෆ්ට් ප්‍රකාශකයෙකු සඳහන් කළා. “හැකි ඉක්මනින් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අප කටයුතු කරන අතරතුර, අපගේ පාරිභෝගිකයින් දක්වන ඉවසීම අපි බෙහෙවින් අගය කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත්, යථා තත්ත්වයට පත් කරන ලද ඇතැම් සේවාවන් “නැවතත් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්විය හැකි” බවට සමාගම පසුව අනතුරු ඇඟවූ අතර, “ඕනෑම කලාපයක” සිටින පාරිභෝගිකයින්ට මෙමඟින් බලපෑම් එල්ල විය හැකි බව ද සඳහන් කළා. අමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු ලොව පුරා රටවල් රැසක පරිශීලකයින් මෙම සේවා බිඳ වැටීමට මුහුණ දී ඇති බව වාර්තා වනවා .

