
S&P ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි.. ඉදිරි දැක්ම ස්ථාවරයි..
FM Heart · 3 min read
දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම සඳහා වන ඉදිරි දැක්ම ‘ස්ථාවර’ (Stable) මට්ටමේ පවතින බව ද එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අභියෝගාත්මක බාහිර පරිසරයක් මධ්‍යයේ වුවද රාජ්‍ය ආදායම් වර්ධනය ශක්තිමත්ව පැවතීම සහ විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා බාහිර අංශවල ප්‍රගතිය තවදුරටත් තහවුරු වී ඇති බව එස් ඇන්ඩ් පී ආයතනය පෙන්වා දෙයි. ආර්ථික වර්ධනයේ පවතින ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ ණය ගෙවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත්, ඉදිරි වසර දෙක තුළ යළි ණය පැහැර හැරීමේ තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ ඉතා අඩු බවත් එම ආයතනය සඳහන් කරයි. 2026 වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 20කින් වර්ධනය වී ඇති අතර, 2026 වසරේදී සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 17 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ආදායම් වර්ධනය හේතුවෙන් 2027 අයවැයෙන් දේපළ බද්ද ඉවත් කර තිබුණ ද, මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා වන රජයේ කැපවීමට ඉන් බාධාවක් නොවන බව එම වාර්තාවේ දැක්වේ. කෙසේ වෙතත්, 2025 නොවැම්බර් මාසයේ ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන වියදම්, බලශක්ති පිරිවැය සහන පැකේජ සහ ප්‍රාග්ධන වියදම් ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8ක් වනු ඇති බවත්, 2027 අයවැයේ බදු සහන හා ප්‍රාග්ධන වියදම් වැඩිවීම් සමඟ 2026-2029 කාලය තුළ අයවැය හිඟය සාමාන්‍යයෙන් සියයට 3.5ක් වනු ඇති බවත් පුරෝකථනය කර ඇත. එමෙන්ම රජයේ ශුද්ධ ණය ප්‍රමාණය 2026දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 92 සිට 2029 වන විට සියයට 83 දක්වා අඩුවනු ඇතැයි ද, රාජ්‍ය ආදායමට සාපේක්ෂව පොලී බර 2024 පැවති සියයට 64 සිට 2029දී සියයට 34 දක්වා පහත වැටෙනු ඇතැයි ද එහි සඳහන් වේ. 2026 වසරේ දෙවන කාර්තුවේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.2ක් වූ අතර, 2026 සමස්ත වර්ෂය සඳහා ආර්ථික වර්ධනය සියයට 4.0ක් සහ 2027දී සියයට 4.5ක් වනු ඇතැයි එස් ඇන්ඩ් පී ආයතනය ඇස්තමේන්තු කරයි. 2024 අගභාගයේ පැවති ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණවලින් සහ 2025 මැයි පළාත් පාලන මැතිවරණවලින් ජාතික ජන බලවේගය (NPP) ලැබූ ප්‍රබල ජනවරමත් සමඟ මෙරට දේශපාලන ස්ථාවරත්වය සහ ප්‍රතිපත්ති පුරෝකථනය කිරීමේ හැකියාව ඉහළ ගොස් ඇති බව එම ආයතනය නිරීක්ෂණය කරයි. ඒ අනුව, 2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසුව ද රජය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තාවේ දැක්වේ. කෙසේ වෙතත්, මැදපෙරදිග යුද ගැටුම් දීර්ඝ වීම හේතුවෙන් ගෝලීය බොරතෙල් හා බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බලපෑම ශ්‍රී ලංකාවට තවදුරටත් ඉහළ අවදානමක් බව එම ආයතනය අනතුරු අඟවයි. ඉන්ධන හා බලශක්ති මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 8.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මේ වසර තුළ පොලී අනුපාත පදනම් අංක 125කින් ඉහළ නංවා ඇත. එසේම, 2027 වසරේදී ඇතිවිය හැකි දැඩි 'එල් නිනෝ'කාලගුණික තත්ත්වය ජල විදුලි උත්පාදනයට සහ තේ, රබර්, වී වැනි කෘෂිකාර්මික අස්වැන්නට බලපෑම් එල්ල කළ හැකි බව ද වාර්තාව පෙන්වා දෙයි. මැදපෙරදිග කලාපය හරහා සිදුවන සංචාරක පැමිණීම් හා විදේශ ප්‍රේෂණ වර්ධනය මන්දගාමී වුවද, ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා පහත වැටී තිබූ මෙරට දළ නිල විදේශ සංචිත ඔක්තෝබර් මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.09 දක්වා යළි ඉහළ ගොස් ඇති බව ද එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංස් ආයතනය වැඩිදුරටත් වාර්තා කරයි[.

