
දින 115න් අවසන් කරන බව කියූ ව්‍යාපෘතිය දින 150කින් ආරම්භ කරවත් නෑ...
FM Heart · 2 min read
අදාළ පාලම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 54 සිට 61ක මුදලක් වෙන් කර ඇති බවත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවති මුල්ගල් තැබීමේ උත්සවය සාම්ප්‍රදායික මඟුල් බෙර හා නැටුම් කණ්ඩායම් සහිතව උත්සවාකාරයෙන් පැවැත්වූ බවත් ප්‍රදේශවාසීහු සිහිපත් කරති. එහෙත් දින 115ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කරන බවට එහිදී ප්‍රකාශ කළ ව්‍යාපෘතියේ දින 150කට ආසන්න කාලයක් ගතවී තිබියදීත් වැඩ ආරම්භ කිරීමට පවා පියවර ගෙන නොමැති වීම පිළිබඳව ජනතාව දැඩි විමතිය පළ කරති. මෙතරම් කුඩා පාලමක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 61ක මුදලක් වැය කිරීමට තීරණය කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳවද ජනතාව ප්‍රශ්න කරති. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී විනිවිදභාවය සහ අදාළ ක්‍රියාපටිපාටි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් මෙම පාලම ස්වේච්ඡාවෙන් ඉදිකර දීමට කැමැත්ත පළ කර තිබූ බවටද ප්‍රදේශවාසීහු සඳහන් කරති. එවැනි යෝජනා තිබියදී මහජන මුදල් වැය කරමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවද ඔවුහු විමසති. පාලම භාවිතයට ගත නොහැකි වීම හේතුවෙන් ජනතාවට විකල්ප මාර්‍ග භාවිත කිරීමට සිදුව ඇති අතර, එම මාර්‍ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු පවතින බව ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම ඉතිරිව ඇති පාලමේ කොටස් සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ඔවුහු පෙන්වා දෙති. එබැවින් රුපියල් ලක්ෂ 61ක ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය, ඉදිකිරීම් ආරම්භ නොකිරීමට හේතුව සහ වැඩ ආරම්භ කරන දිනය පිළිබඳව නුවරඑළිය මහ නගර සභාව ඇතුළු වගකිවයුතු බලධාරීන් ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතු බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

