
දිට්වා නිසා මියගිය අය සිහි කරමින් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මුතියංගනයේ දී පින්කම්
FM Heart · 2 min read
දිට්වා සුළි කුණාටුවේදී මියගිය 650දෙනකු සහ අතුරුදන් වූ 173ක පමණ දෙනා සිහිපත් කිරීමේ බෞද්ධාගමික වැඩසටහනක් කුණාටුව සිදුවී වසරක් සම්පූර්‍ණ වීම නිමිත්තෙන්, බදුල්ල ඓතිහාසික මුතියංගනය රජමහා විහාරස්ථානයේදී අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් 26 දා සහ 27 දා පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම් 380කින් පමණ ජීවිත 99ක් පමණ අහිමිවිණි. බදුල්ල, පස්සර, ලුණුගල, හාලිඇල, සොරණාතොට, කන්කැදකැටිය, මීගහකිවුල, මහියංගන, වැලිමඩ සහ ඌවපරණගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදුවූ නාය යෑම්වලින් යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශයට පත්විය. දිට්වා ආපදාවෙන් දිවි අහිමිවූ ජනතාව සිහිපත් කිරීමෙන් අනතුරුව පැවැති කෙටි උත්සව සභාවේදී දිට්වා වර්‍ෂ පූර්‍ණය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදුවුණි. ‘නොබිඳුණු මිනිස්කමේ සවිය – දිට්වා අභියෝග, ප්‍රතිචාර සහ ජයග්‍රහණ’ පොත එළිදැක්වීම ද ‘ඌව නවෝදය’ පුවත්පත එළිදැක්වීම ද සිදුකෙරිණි. අනතුරුව අගමැතිනියගේ ආරාධනයෙන් 26 දා සර්‍ව රාත්‍රික පිරිත් දේශනය ආරම්භ වූ අතර පසු දින සියක් නමක් උදෙසා දානමය පිංකම පැවැත්විණි. මෙම අවස්ථාවට මුතියංගන රජමහා විහාරාධිපති අස්ගිරි පාර්‍ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්‍ය මුරුන්දෙණියේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරු ද ඌව පළාත් සභාවේ නිලධාරිහු සහ ප්‍රදේශවාසීහු ද සහභාගි වූහ. බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

