
කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ අභිමානය
FM Heart · 6 min read
ලෝක බෞද්ධ සංඝ සම්මේලනය, සිය 60 වන සංවත්සරය සැමරීමත්, 11 වන මහා සමුළුවේ 02 වන විධායක කමිටු රැස්වීම පැවැත්වීමත්, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කිරීමත් යන ත්‍රිවිධ අභිලාෂයන් පෙරටුව මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. ලොව පුරා වෙසෙන, විවිධ ශාසනික සේවාවන්හි නිරතවන ථෙරවාද, මහායාන සහ වජ්රයාන යන ආගමික සම්ප්රදායන්හි බෞද්ධ භික්ෂු/භික්ෂුණීන් ඇතුළු නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ලෙස ලෝක බෞද්ධ සංඝ සම්මේලනය හැඳින්විය හැකිය. ඉදානීන්තනය වනවිට ලෝකවාසී විවිධ දේශයන්හි මහා සංඝ රත්නය අතර සමගිය, සහයෝගීතාව ගොඩනැඟෙන ප්‍රධාන සම්බන්ධීකාරකය වන්නේ ද මෙම සංවිධානයයි. වර්ෂ 1966 දී මැයි 16 දින ශ්‍රී ලංකාවේ කොළඹ දී සමාරම්භය ලැබූ මෙම සම්මේලනයේ ප්‍රථම සභාපතිවරයා වූයේ අතිපූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමියන් වන අතර ලේකම් පදවිය හෙබවූයේ අතිපූජ්‍ය පිඹුරේ සෝරත නාහිමිපාණන් වහන්සේය. අනතුරුව 1999 වර්ෂයේ අප්‍රේල් 18 සිට 22 දක්වා විධායක කමිටු රැස්වීමත් ශ්‍රී ලංකාවේ පවත්වා ඇත. දෙවන මහා සමුළුව 1969 ජූනි මස වියට්නාමයේ සයිගොන්හිදී ද, තෙවන මහා සම්මේලනය 1981 වසරේ දෙසැම්බර් 1 සිට 7 දක්වා තායිවානයේ තායිපේහි දී පැවැත්වා ඇත. සතරවන සමුළුව 1986 ජනවාරි 8 සිට 10 දක්වා තායිලන්තයේ දී ද, පස්වන මහා සමුළුව 1989 වර්ෂයේ ඔක්තෝබර් මස අග දී නැවතත් තායිවානයේ දී ද පවත්වන ලදි. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සයවන සැසිවාරය වර්ෂ 1995 දී නොවැම්බර් 08 දින මැලේසියාවේ පිනෑන්ග් හිදී ද, සත්වන මහා සමුළුව 2000 වසරේ නොවැම්බර් 11 දින තායිවානයේ තායිපේ හිදී පවත්වා ඇත. තවදුරටත් 08 වන සම්මේලනය 2005 දෙසැම්බර් 06 දින මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී ද, සමුළුවේ 09 වෙනි සැසිවාරය 2012 වසරේ දෙසැම්බර් 1 සිට 7 දක්වා ඉන්දුනීසියාවේ මේදාන් හිදී ද පවත්වන ලදි. දසවන සමුළුව 2018 දී නොවැම්බර් 6 සිට 10 දින දක්වා මැලේසියාවේ පිනෑන්ග් හිදී මෙන්ම 11 වන මහා සම්මේලනය 2024 වර්ෂයේ මාර්තු 02 සිට 06 දින දක්වා නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී ද පැවැත්විණි. මෙහි සිදු වූ විශේෂතම සිද්ධිය වූයේ රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙන් විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය මාපලගම විමලසාර නාහිමිපාණන් වහන්සේ මෙම සම්මේලනයේ ඉංග්‍රීසි භාෂා මහ ලේකම් ධුරයට පත්වීමයි. දශක 06ක යටගියාවකින් පසුව ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නැවතත් මෙම 2026 වසරේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ආගමික, සංස්කෘතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් සුවිශේෂී අවස්ථාවකි. එමෙන්ම ලොව පුරා වෙසෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ එකමුතුව, අන්‍යොන්‍ය අවබෝධය හා සහයෝගීතාවය තහවුරු කිරීම, ප්‍රධාන ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ලෙස ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ භූමිකාව ශක්තිමත් කිරීම හා ආධ්‍යාත්මික සංවර්ධනය, වර්තමාන අභියෝග පිළිබඳ සාකච්ඡා, සහයෝගීභාවය, ගෞරවය හා අනාගත දිශානතිය සඳහා ජාත්‍යන්තර වේදිකාවක් සැකසීම ද මෙහිලා ගෝලීය වශයෙන් වැදගත් වේ. තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ආරම්භක රටක් වශයෙන් අපට ලැබෙන්නේ මහත් භාග්‍යක් මෙන්ම අභිමානයකි. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය අප රටේ පැවැත්වීම හේතුවෙන් එහි ආරම්භක රට ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්වීම, බෞද්ධ අධ්‍යාපනය, උරුමය සහ නායකත්වය සඳහා ප්‍රධාන ක්‍රියාකාරී රටක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව තවදුරටත් තහවුරු කිරීම, ජාත්‍යන්තර බෞද්ධ කටයුතු තුළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ පිළිගැනීම වැඩිදියුණු කිරීම, එමෙන්ම බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය ලෝකයට ප්‍රචාරය කිරීමේ දී ශ්‍රී ලංකාව ලබාදෙන මහඟු දායකත්වය අනාවරණය කිරීමට අවස්ථාව සැලසීම වැනි වැදගත් අධ්‍යාශයන් මුදුන්පත් වනු ඇත. මෙම සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ දී ප්‍රධානතම ස්ථානීය මූලස්ථානය වන කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිල වශයෙන් විවෘත කිරීම සිදු වේ. ලේඛනවලට අනුව මුලින් “රාජවත්ත” ලෙස හැඳින්වූ මෙම භූමි ප්‍රමාණය පිහිටා ඇත්තේ බුදුරජාණන් වහන්සේ “කැලණිපුර” (කැලණිය) වෙත වැඩම කළ අවස්ථාවේදී මණි අක්ඛික නාරජු විසින් උන්වහන්සේට පූජා කරන ලද ප්‍රදේශයේ ය. බුද්ධ ශාසනය වෙනුවෙන් දහම ඉගෙනීමට සහ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව විනය ගරුකව ජීවත්වීමට පහසුකම් සැපයීමේ ප්‍රකාශිත අරමුණු ඇතිව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවකට ජනාධිපති ස්වර්ගප්‍රාප්ත වූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද සුන්දර අක්කර 40ක් වන භූමි භාගයක මෙම ආයතනය පිහිටුවා ඇත. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය යනු 2013 වර්ෂයේ දී පිහිටුවන ලද, සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගන්නා ලද උපාධි ප්රදානය කරන ආයතනයකි. බෞද්ධ දර්ශනය, ආචාර ධර්මීය ඉගැන්වීම් සහ උතුම් ආදර්ශවත් චරිත ප්‍රචාරය කිරීම මගින් සාමය, එකමුතුවෙන් පිරි බුද්ධිමත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය සැපයීම මෙම ආයතනයේ දැක්මයි. තවදුරටත් මෙහෙවර යටතේ කරුණාව හා ප්‍රඥාව යන බෞද්ධ මූලධර්ම තුළ පදනම් වූ දැනුම සොයාගැනීම, සංරක්ෂණය කිරීම සහ ප්‍රචාරය කිරීම ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරයි. ආයතනය ජීවන කාලය පුරාම ඉගෙනීම, විවේචනාත්මක චින්තනය සහ පෞද්ගලික ජයග්‍රහණ පෝෂණය කරන අතර සෞඛ්‍ය, සංස්කෘතිය සහ සමාජීය යහපැවැත්ම යන නිර්ණායක ක්ෂේත්රවල සමස්ත මනුෂ්‍ය වර්ගයාට ම සේවය කරන මානව ප්රයත්නයන් ඉදිරියට ගෙන යෑම සඳහා ගෝලීය වශයෙන් ප්‍රජාවන් සමග හවුල් වීම ද ඒ අතර වේ. මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, නිර්මාතෘවර අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ වර්ෂ 2013 දී ආරම්භ කරනු ලැබූ මෙම ආයතනය දැනට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උපාධි ප්රදානය කරන පිළිගත් අධ්‍යයන ආයතනයකි. මෙහි අධ්‍යයන කටයුතු සාමාන්‍ය උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා මෙන්ම විවිධ පශ්චාත් උපාධි ද පිරිනමනු ලබයි. මෙම අධ්‍යයන ආයතනයේ ආකෘතිය වශයෙන් සලකන කල ක්‍රි.ව. 5 වන සියවසේ දී (ක්‍රි.ව. 427 දී පමණ) ගුප්ත අධිරාජ්‍යයේ පළමු වන කුමාරගුප්ත රජු විසින් භාරතයේ පාඨලීපුත්‍රයේ දී ගොඩනඟන ලද විශ්වකීර්තිධර නාලන්දා විශ්වවිද්‍යාලය අනුව සකස් කර ඇත. එදා ඉන්දියාවේ පැවැති විශිෂ්ට විශ්වවිද්‍යාලයක් වූ නාලන්දාව අපට අහිමි වීම හේතුවෙන් ඒ ශ්‍රේෂ්ඨ ආයතනයේ ඌනතාව සම්පූර්ණ කිරීම් වශයෙන් ථෙරවාද, මහායාන, වජ්රයාන සම්ප්රදායන්ගේ නියෝජනය සිදුවන ආයතනයක් නැවතත් නාලන්දා විශ්වවිද්‍යාලය නමින් ගොඩනැඟීමේ අධ්‍යාශයෙන් කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය ආරම්භ කළේය යන්න අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ අදහසයි. තවදුරටත් ලෝකවාසී පැවිදි පාර්ශ්වය සහ ගිහි බෞද්ධ නියෝජිත පිරිස්වල ඒකාග්‍රතාවය මෙන්ම සමගිය ගොඩනැඟීම ද මෙහි පෘථුල අදහස වී තිබේ. ඒ අනුව වර්තමානයේ එදා භාරතීය නාලන්දාවට ආදේශකයක් වශයෙන් ගොඩනඟා ඇති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ලාංකේය අධ්‍යාපන ආයතන වංශ කතාවට නව පරිච්ඡේදයක් එකතු කරනු ඇත. ඒ අනුව මෙවර ලෝක බෞද්ධ සංඝ සම්මේලනය එහි වත්මන් ප්‍රධාන ලේඛකාධිකාරී රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහාවිහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන සංවිධානයෙන් සහ මෙහි සංස්කෘතික අංශයේ සභාපති කැලණිය නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ උපකුලපති අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ද පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 28 දිනෙන් සමාරම්භව 29 දිනයෙන් පසු 30 දින ඓතිහාසික අනුරාධපුරයේ ද අනතුරුව දෙසැම්බර් 01 වැනි දින මහනුවර පැවැත්වෙන සමාප්ති උත්සවයෙන් මෙම මහා සමුළුව නිමාවට පත් වේ. ශාස්ත්‍රපති පූජ්‍ය වත්තල සෝභිත හිමි

