
වරාය පිවිසුම් මාර්‍ගය අධිවේගී මාර්‍ගයක් ලෙස ගැසට්ටුවකින් නම් කරයි...
FM Heart · 1 min read
2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ 9(1)(අ) වගන්තිය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2026 නොවැම්බර් මස 23 වැනි දිනැති අංක 2516/02 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත. මීට පෙර 2026 නොවැම්බර් මස 13 වැනිදා නිකුත් කළ අංක 2514/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික මහාමාර්‍ගයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මෙම මාර්‍ගය, නව ගැසට් නිවේදනය මගින් අධිවේගී මාර්‍ගයක් ලෙස නම් කර තිබේ. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි මෙම වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්‍ගයේ මුළු දිග කිලෝමීටර් 5.729 කි. කැළණිතිස්ස බලාගාර මංසන්ධිය අසලින් (කැළණිතිස්ස පද්ධති අන්තර් හුවමාරුවෙන්) ආරම්භ වන මෙම මාර්‍ගය චෛත්‍ය පාර අසලින් අවසන් වේ. කොළඹ වරාය භූමිය හරහා කුළුණු මතින් ඉදිවෙන ද්විත්ව මංතීරු බොක්ස් ගර්‍ඩරය සහිත මෙහි ප්‍රධාන ගුවන් මාර්‍ග ව්‍යූහයේ දිග මීටර් 5,132 කි. එමෙන්ම ඉඟුරුකඩේ අන්තර් හුවමාරුව (කි.මී. 0+400), කොළඹ වරාය අභ්‍යන්තර මාර්‍ගයට සම්බන්ධ වන බෑවුම් මාර්‍ගය 3 (කි.මී. 5+120) සහ වරාය නගරය හා ගාලු මුවදොර වෙත සම්බන්ධ වන කොටසක් නිම කළ බෑවුම් මාර්‍ගය 4 (කි.මී. 5+580) යන අන්තර් හුවමාරු තුනකින් මෙම අධිවේගී මාර්‍ගය සමන්විත වන බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

