
යාපනේ කැඩූ ‘මාතර ඇඹුල’ නොකී කතා එලියට එයි..
FM Heart · 3 min read
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් 2026.11.27 දිනැතිව යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් යාපනය නාගරික කොමසාරිස් ටෙ. ක. අරවින්දරාජ් මහතා මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත. අදාළ ඉදිකිරීම වීදි සීමා රේඛාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් සිදු කරන ලද්දක් බවත්, එය කඩා ඉවත් කිරීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයකට අනුව නීත්‍යානුකූලව සිදු කළ බවත් නාගරික කොමසාරිස්වරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ පොදු මාර්ග ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ ඉගුරු රණසිංහ යන අය වෙත 2025.05.02 දින පළමු නිවේදනය නිකුත් කර, ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස මහ නගර සභාවට දැනුම් දී තිබේ. ඒ අනුව 2025.05.22 දින නගර සභාවේ සැලසුම් අංශයේ තාක්ෂණික නිලධාරියෙකු සිදු කළ ස්ථානීය පරීක්ෂණයේදී වීදි සීමා රේඛාව තුළ ඉදිකිරීම් සිදු කෙරෙන බව තහවුරු වී ඇත. වරිපනම් ලේඛනයට අනුව අංක 103, ප්‍රධාන වීදිය, යාපනය ලිපිනයේ පිහිටි මෙම දේපළෙහි හිමිකරු වන පොන්නුතාස් පතිරාජා මහතා වෙත නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ 2025.06.05 දින පළමු නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇත. දින 14ක් ඇතුළත අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් 2025.06.19 දින නැවත අනතුරු ඇඟවීමේ ලිපියක් යොමු කර තිබේ. දෙවන නිවේදනයෙන් පසු 2025.06.30 දින හිමිකරු විසින් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරමින් 2013 වසරේදී ගොඩනැගිලි අනුමැතිය ලබා ගත් බවත්, ඉදිරිපස තාවකාලික වීදුරු ආවරණ හා ඉහළ මහල සඳහා අයදුම්පත් ලබා ගත් බවත් දන්වා ඇත. කෙසේ වෙතත් දින 7ක් ඇතුළත අදාළ ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා 2025.06.30 දින අවසන් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. එසේ තිබියදීත් ඉදිකිරීම් නතර නොකර සම්පූර්ණ කර ඇති බව 2025.07.13 දිනැති තාක්ෂණික නිලධාරී වාර්තාවෙන් තහවුරු වී ඇත. අනවසර ඉදිකිරීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට බාධා සිදුවීම මත, යාපනය මහ නගර සභාව විසින් 2025.12.05 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ (නඩු අංක AMC/17737/MCJ/25) නඩු පවරන ලදී. එහි තීන්දුව 2026.07.09 දින ප්‍රකාශයට පත් කරමින් වීදි සීමා රේඛාව තුළ ඇති අනවසර කොටස කඩා ඉවත් කරන ලෙස අධිකරණය නියෝග කළ අතර, එහි ලිඛිත පිටපත 2026.11.06 දින නගර සභාව වෙත ලැබී තිබේ. අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා 2026.11.25 දින පෙරවරු 6.00ට පෙර සියලු බඩුබාහිරාදිය ඉවත් කර ගන්නා ලෙස හිමිකරුට 2026.11.20 දිනැති ලිපිය මගින් දැනුම් දුන් අතර, එම දැන්වීම 2026.11.23 දින උදෑසන අදාළ ස්ථානයේ අලවා ඇත. අනතුරුව 2026.11.25 වන දින වීදි සීමා රේඛාව තුළ පැවති අනවසර ඉදිකිරීම් කොටස් මහ නගර සභාව මගින් කඩා ඉවත් කර තිබේ. මේ අතර, අදාළ ස්ථිර ගොඩනැගිල්ල සඳහා 2013.10.25 දින අනුමැතිය ලබා දී තිබූ බවත්, දැනට කඩා ඉවත් කළ කොටසද ඇතුළත්ව 2017 වසරේදී (BA 83/2017) නැවත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී වීදි සීමා රේඛාවට අයත් කොටස ඉවත් කිරීමෙන් පසු නැවත අනුමැතියට ඉදිරිපත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මගින් උපදෙස් දී තිබූ බවත් යාපනය මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

