
අත්‍යවශ්‍ය ලේඛන උසාවියට නොගෙනා සීඅයිඩී යට විනිසුරුගෙන් දැඩි අවවාද
FM Heart · 1 min read
ව්‍යාජ ඔප්පුවක් සකස් කොට ඉඩමක් ලියාපදිංචි කිරීමේ චෝදනාවක් යටතේ නීතිඥවරයකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට විශේෂ සාක්ෂිකරුවකු කැඳවා තිබියදීත් සාක්ෂිකරුට පෙන්වා තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය ලේඛන රැගෙන නොපැමිණීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි නිලධාරියාට ඊයේ (11) දැඩිව අවවාද කළාය. “මේ සාක්ෂිකරු විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක්. දැඩි රෝගාතුරක සිටියදීත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි තිබෙන්නේ නඩුවේ වැදගත්කම සලකා වගේම අධිකරණ නියෝගයට ගරු කිරීමක් ලෙසටයි. ඔහුගේ සාක්ෂිය ගන්න හදද්දී අත්‍යවශ්‍ය ලේඛන ගෙනවිත් නෑ කියන එකෙන් අදහස් වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ නොසැලකිල්ලයි. මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව වගේ වගකිවයුතු දෙපාර්‍තමේන්තුවක් කටයුතු කිරීම හරිම කනගාටුදායකයි. පොල් ගෙඩියක් හොරකම් කිරීමේ සිද්ධියක් ගැන තියෙන නඩුවක් විදිහට සුළුකොට හිතලාද අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව කටයුතු කර තිබෙන්නේ” යනුවෙන් දැඩිව අවවාද කළ විනිසුරුවරිය එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජනවාරි 25 දක්වා කල්තැබීමට නියෝග කළාය. ඒ.ජේ.ඒ. අබේනායක

