FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එක්ස්ප්‍රස් පර්‍ල් සිද්ධියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු නොකළැයි නීතිපතිට එන්තරවාසියක්

FM Heart · 2 min read

The Heart Academy
එක්ස්ප්‍රස් පර්‍ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව නීතිපතිවරයා වෙත පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් (Letter of Demand – LOD) යොමු කර තිබේ. අදාළ නඩු තීන්දුවෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් සුදුසු නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ නීතිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්‍ග ගැනීමට කටයුතු කරන බව එම එන්තරවාසිය මගින් දැනුම් දී ඇත. 2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එක්ස්ප්‍රස් පර්‍ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව අනුව නීතිපතිවරයා වෙත පුළුල් වගකීම් රැසක් පවරා තිබූ බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේය. එම වගකීම් අතර නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන සිදු කිරීම, වගකිවයුතු පාර්‍ශ්වයන්ට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීම, අදාළ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම ඇතුළත් වන බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කර ඇති එම වගකීම් නිසි පරිදි ඉටු කිරීමට නීතිපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා චෝදනා කළේය. අදාළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවස්ථා කිහිපයකදීම නීතිපතිවරයා වෙත සිහිපත් කිරීම් සිදුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්‍ග ගෙන නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මෙම එන්තරවාසිය යොමු කර තිබේ. එම ලිපිය ලැබුණු දින සිට දින 14ක් ඇතුළත අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර, තවදුරටත් ඉටු කිරීමට ඉතිරිව ඇති කාර්‍යයන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන්ට හේතු පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසද නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත. අදාළ කාලසීමාව තුළ නීතිපතිවරයා විසින් අවශ්‍ය පියවර නොගන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා සුදුසු අධිකරණ නියෝග ලබාගැනීමටත්, අවශ්‍ය පරිදි නීතිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්‍ග ආරම්භ කිරීමටත් කටයුතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කර තිබේ. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile