
බලංගොඩ කස්සප හිමිට ත්‍රිකුණාමලය උසාවියෙන් වරෙන්තු
FM Heart · 1 min read
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට ඊයේ (11) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය. අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ එහි දෙවන සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනකු අධිකරණයට නම් කර තිබේ. ඉන් සැකකරුවන් 9 දෙනකුට අද (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කළේය. නඩුව ලබන ජනවාරි 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය. ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි

