
බේරුවල නගර සභාවේ අයවැය පරදියි!
FM Heart · 2 min read
ජාතික ජන බලවේගයට බලය හිමි බේරුවල නගර සභාවේ 2027 වර්ෂයට අදාළ අයවැය වාර්තාව වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ. නගර සභාපති මොහොමඩ් මාබාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශ්‍රවණාගාරයේදී අද (10) පැවති මාසික රැස්වීමේදී මෙම අයවැය විමසීම සිදු කෙරුණු අතර, අයවැය විමසන අවස්ථාව මාධ්‍යයට ආවරණය කිරීම තහනම් කර තිබූ බවද පැවසේ. කෙසේවුවද, ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට සභාගැබට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වී තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි. කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහයෝගය මත මාලිමාව බේරුවල නගර සභාවේ බලය පිහිටුවා ගෙන තිබුණි. සභාවේ විපක්ෂය නියෝජනය කළ ස්වාධීන කණ්ඩායමට සභික ධූර 7ක් හිමිවී තිබුණි. අද පැවති අයවැය ඡන්ද විමසීමේදී මෙතෙක් ජාතික ජන බලවේගයට සහය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තවත් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 8ක් ලැබී ඇත. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී තිබේ. අයවැය ඡන්ද විමසීම මාධ්‍යයට ආවරණය කිරීමට නොදීම පිළිබඳව සභා අවසානයේදී මාධ්‍යවේදීන් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී සභාපති මොහොමඩ් මාබාසිම් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඡන්ද විමසීම අතරතුර පෞද්ගලික කාරණයක් සාකච්ඡා කිරීමට තිබූ බැවින් මාධ්‍යයට ආවරණය ලබා නොදුන් බවය.

