FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මණ්ඩලයට ගෙනා ජල පිරිසිදුකාරකවල ක්‍රෝමියම් ප්‍රතිශතය 58%කින් වැඩියි.. තොගයක් අත්හිටුවයි..

FM Heart · 2 min read

The Heart Academy
මණ්ඩලයේ මධ්‍යම රසායනාගාරය මගින් සිදුකරන ලද අභ්‍යන්තර තත්ත්ව පරීක්ෂාවකදී, අදාළ රසායනික තොගයේ අඩංගු ක්‍රෝමියම් ප්‍රතිශතය නිර්‍දේශිත ප්‍රමිතියට වඩා සියයට 58 කින් ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට හේතු වී තිබේ. මෙම රසායනිකය සම්බන්ධයෙන් නිකුත් වූ රසායනාගාර වාර්‍තාවට අනුව, එහි අඩංගු විය යුතු උපරිම ක්‍රෝමියම් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 12ක් වුවද, පරීක්ෂාවට ලක්වූ තොගයේ එම අගය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 19ක් දක්වා ඉහළ ගොස් තිබූ බව අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්‍ග මෙන්ම අදාළ සැපයුම්කරුගෙන් වන්දි හෝ අලාභ අයකර ගැනීම පිළිබඳව නිර්‍දේශ ලබාගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ විශේෂඥයන් සහ විශ්වවිද්‍යාල මහාචාර්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරය මගින් මෙම තොගය සම්බන්ධයෙන් සිදුකරන ලද දෙවන පරීක්ෂණයේදී එහි ක්‍රෝමියම් මට්ටම කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 11ක් ලෙස සාමාන්‍ය අගයක සටහන්ව තිබුණද, පූර්‍ව ආරක්ෂිත පියවරක් ලෙස එම තොගය ජල පිරිපහදු කටයුතු සඳහා යොදා නොගත් බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. තවද, මේ වන විට ජල පිරිපහදු කටයුතු වෙනත් ආරක්ෂිත රසායනික තොගයක් මගින් අඛණ්ඩව සිදුකරන බවද ඔහු තහවුරු කළේය. මේ පිළිබඳව අදහස් දැක්වූ ජල සම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික ජල පිරිපහදු විශේෂඥ නිහාල් රත්නායක මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ජලය පිරිපහදු කිරීමේදී ලීටරයකට යොදනු ලබන්නේ හයිඩ්‍රේටඩ් ලයිම් මිලිග්‍රෑම් 5ක් වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක් බවයි. කිසිදු විකල්පයක් නොමැති හදිසි අවස්ථාවකදී මෙවැනි තොගයක් කෙටි කලක් සඳහා භාවිත කළ හැකි වුවද, අඛණ්ඩව භාවිතයට ගැනීම නුසුදුසු බව හෙතෙම පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීම උදෙසා යුරෝපීය ප්‍රමිතීන්ට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්‍දේශයන්ට අනුකූල ප්‍රමිතිය භාවිත කරනු ලබයි. එමෙන්ම ජලයේ සහ අපජලයේ ප්‍රමිතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතුව දිවයින පුරා විහිදුණු රසායනාගාර 36 ක ජාලයක් ක්‍රියාත්මක වේ.
99mobile