
විරෝධතාවකට රට පුරා දොස්තරලා ජාතික රෝහලට කැදවයි..
FM Heart · 2 min read
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව උසස් සෞඛ්‍ය දර්ශක අත්පත් කරගෙන සිටියද, මෙරට වෛද්‍යවරුන්ට හිමිවන්නේ ඉතා අවම වැටුපක් බව පෙන්වා දෙන එම සංගමය, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ වෛද්‍යවරුන්ගේ බදු සහන වාහන බලපත්‍ර අහෝසි කිරීම, දීමනා ඇතුළු සමස්ත වැටුපට අධික ලෙස බදු පැනවීම සහ 2025 රාජ්‍ය වැටුප් සංශෝධනයේදී අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක ප්‍රමාණයක් කප්පාදු කිරීම හේතුවෙන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව සඳහන් කරයි. ආර්ථිකය යහපත් වූ පසු එම දීමනා යළි ගෙවන බවට රජය දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවද එම නිවේදනයේ දැක්වේ. මීට අමතරව, 2015 වසරෙන් පසු ගතවූ වසර 11 තුළ සෞඛ්‍ය අංශයේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව විද්‍යාත්මකව සංශෝධනය කර නොමැති බවත්, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සක්‍රීය සේවයේ නිරත වෛද්‍යවරුන් සංඛ්‍යාව 25,000කටත් වඩා පහත වැටී ඇති බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. රෝහල් සහ සත්කාරක ඒකක ප්‍රමාණය පුළුල් වුවද කාර්ය මණ්ඩලය ඊට ගැළපෙන පරිදි වැඩි නොකිරීම නිසා පවතින සේවකයන් මත පැටවී ඇති අධික වැඩබර රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය පිරිහීමට ඍජුවම බලපා තිබේ. රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බවට රජය ප්‍රකාශ කරන පසුබිමක, 2027 අයවැය යෝජනාවලිය හරහා මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය අගෝස්තු මාසයේදී යෝජනාවලියක් රජය වෙත භාරදුන් නමුත් බලධාරීන් ඊට කිසිදු අවධානයක් යොමු නොකළ බව සංගමය පවසයි. පසුගිය සතිය පුරා දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට කළු පටි පැළඳ සංකේත විරෝධතා පැවැත්වුවද විසඳුමක් නොලැබීම මත නොවැම්බර් 10 වැනිදා කොළඹට පැමිණ විරෝධතාවයේ නිරත වන බවත්, සාධාරණ විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් වෛද්‍යවරුන් රජයට දැඩිව බලකර සිටියි.

