
ඊශ්‍රායලයේ දේශපාලන කුණාටුවක්.. නෙතන්යාහුට බලය අහිමියි.. විපක්ෂ නායක අයිසන්කොට් නව රජයක් පිහිටුවීමට සූදානම්...
FM Heart · 2 min read
ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ, එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකිරීමේ අවස්ථාවට හිටපු හමුදා ප්‍රධානියෙකු වන ගාඩි අයිසන්කොට් ඉතා ආසන්න වී තිබේ. ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් අනතුරුව සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අයිසන්කොට් ප්‍රකාශ කර ඇත්තේ, "ජාතික හදිසි රජයක් පිහිටුවීමට සුදුසුම කාලය මෙය බවත්, ජනතා විශ්වාසය දිනාගැනීම උදෙසා කළ හැකි උපරිම කැපකිරීම සිදුකරන" බවත්ය. පාර්ලිමේන්තු බහුතරය සහිත සභාගයක් ගොඩනැගීම සඳහා අයිසන්කොට් වෙත සති හයක කාලයක් හිමිවන නමුත්, එය අතිශය අභියෝගාත්මක කාර්යයක් වනු ඇතැයි විදේශ විචාරකයෝ පෙන්වා දෙති. 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය සහ ඉන් අනතුරුව ගාසා තීරය කේන්ද්‍ර කරගනිමින් වසර ගණනාවක් පුරා ඇදී ගිය යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල සමාජය මේ වන විට දැඩි දේශපාලනික බෙදීමකට ලක්ව තිබීම ඊට ප්‍රධාන හේතුවයි. පසුගිය මැතිවරණයේදී නෙතන්යාහු ප්රමුඛ දක්ෂිණාංශික සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ අතර, අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට ද තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි නොවීය. මේ හේතුවෙන් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් අත්කර ගත් අරාබි සම්භවයක් සහිත පක්ෂ නව රජයක් තීරණය කිරීමේ තීරණාත්මක බලවේගය බවට පත්ව ඇත. අයිසන්කොට් සහ අරාබි පක්ෂ අතර කිසියම් හෝ සන්ධානයක් ගොඩනැගීම වැළැක්වීම සඳහා නෙතන්යාහු මේ වන විටත් දැඩි ප්රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. අරාබි පක්ෂ මැතිවරණය "සොරකම් කර ඇති" බවට පදනම් විරහිත චෝදනා නගන නෙතන්යාහු, "ත්රස්තවාදීන්ට සහය දක්වන්නන් සමඟ එක්ව හදිසි රජයන් පිහිටුවීමට" එරෙහිව සිය ආධාරකරුවන්ට අනතුරු අඟවා ඇත. ඒ වෙනුවට තමන් සමග එක්ව ජාතික එකමුතු රජයක් පිහිටුවන ලෙස හෙතෙම ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ විශාලතම තනි පක්ෂය වන නෙතන්යාහුගේ ලිකුඩ් (Likud) පක්ෂය සහ අයිසන්කොට්ගේ යෂාර් පක්ෂය අතර පුළුල් එකඟතාවක් ඇති කරගැනීමද පහසු නොවේ. විශේෂයෙන්ම අන්ත ඕතඩොක්ස් යුදෙව් තරුණයන් හමුදා සේවයට බඳවා ගැනීමෙන් නිදහස් කළ යුතුය යන නෙතන්යාහුගේ ආගමික සන්ධාන හවුල්කරුවන්ගේ මතය මෙන්ම, ඔක්තෝබර් 07 ප්‍රහාරයේ බුද්ධි සහ ආරක්ෂක අංශවල අසමත්කම පිළිබඳ ස්වාධීන නිල පරීක්ෂණයක් පැවැත්වීමට නෙතන්යාහු දක්වන දැඩි විරෝධය ද දෙපාර්ශ්වය අතර පවතින ප්‍රධාන මතභේදයන් වේ. අයිසන්කොට්ගේ යෂාර් පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ, අන්ත දක්ෂිණාංශික රැඩිකල් බලවේග සමග ඇති සන්ධානයෙන් ඉවත් වන ලෙස ලිකුඩ් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ වන මන්ත්‍රීවරුන් පමණක් නව රජයට එක්කර ගන්නා බවත්ය.

