FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අරගල පොකුරක් මැද යුරෝපය

FM Heart · 11 min read

The Heart Academy
පැය 72 කට එනම්, දින තුනකට සරිලන සේ හදිසි අවස්ථා කට්ටලයක් සූදානම් කර තබාගන්නා ලෙස සිය පුරවැසියන් වෙත දැනුම්දීමට බ්‍රිතාන්‍යය හා ප්‍රංශය පසුගිය දා කටයුතු කළේය. ඒ අනුව, ආහාර හා ජලය, ආලෝකය හා සන්නිවේදනය සඳහා මෙවලම්, ඖෂධ හා ප්‍රථමාධාර ද්‍රව්‍ය, සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, මුදල් හා අත්‍යවශ්‍ය ලේඛන ආදිය මෙම හදිසි අවස්ථා කට්ටලයට ඇතුළත් විය යුතු වේ. මෙම උපදෙසෙහි නිශ්චිත තර්‍ජනයක් ගැන සඳහනක් නැත. එය ආන්තික කාලගුණ තත්ත්වයක සිට භූමිකම්පා, සයිබර් ප්‍රහාර හෝ හදිසි විදුලිය විසන්ධි වීම් සහ නළ ජලය නැතිවීම් වැනි ඕනෑම හදිසි තත්ත්වයකට සූදානම් වීමක් ලෙස හැඟෙන්නට පිළිවන. නමුත්, මේ පසුබිමෙහි ඇති සැබෑව වන්නේ මේ වන විට යුරෝපයේ රටවල් ගණනාවක් පුරා පැතිර යමින් පවතින ගැටුම් හා අරගලකාරී තත්ත්වයයි. වෙනත් ලෙසකින් කිවහොත් මෙම හදිසි අවස්ථා කට්ටල සූදානම් කර ගැනීම යනු, මෙම සමාජ අර්‍බුදකාරීත්වයේ බරපතළ ප්‍රකාශනයකි. යුරෝපය මේ වන විට මුහුණ දී ඇත්තේ තියුණු සමාජ – දේශපාලන – ආර්‍ථික අස්ථාවරත්වයකටය. එසේම, එය වඩ වඩාත් තීව්‍ර වෙමින් පවතින්නකි. යුරෝපයේ වීථි බට Z පරපුර ප්‍රංශය, බෙල්ජියම, අයර්‍ලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, ග්‍රීසිය, ජර්‍මනිය, සර්‍බියාව සහ ඇල්බේනියාව යන රටවල් මේ අරගලකාරී තත්ත්වයට මුහුණ පා ඇත. හෙට දවසේ සෙසු යුරෝපා රාජ්‍යයන්හි ද මෙම අරගල හා ගැටුම් පැතිර යෑමේ විභවයක් පවතී. ශිෂ්‍යයින් හා තරුණයින්, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ මෑත කාලීන අරගලවලදී කැපී පෙනුණු Gen Z හෙවත් Z පරම්පරාව පෙරටුකොටගෙන යුරෝපා වැසියෝ මේ වන විට වීථි බැස සිටිති. “මේ මහාද්වීපයේ සමාජීය හා ආර්‍ථික වශයෙන් අස්ථාවර බවක් දැනෙනවා. මම වසර ගණනාවක් යුරෝපයේ සාමකාමී මෙන්ම ප්‍රචණ්ඩකාරී විරෝධතා රැසක් වාර්‍තා කර තිබෙනවා. සාමකාමී මෙන්ම, විවිධ ප්‍රචණ්ඩකාරී ගැටුම් මට හොඳට මතකයි. නමුත් මෙය ඇති කරන්නේ වෙනස් ආකාරයක හැඟීමක්. යුරෝපය පුරා එකවර විරෝධතා පුපුරා යමින් පවතිනවා. සාමකාමී මෙන්ම ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ගෙන් බහුතරය තරුණයින්. සමහරෙක් සැබැවින්ම ළාබාලයින්. අත්අඩංගුවට පත් වූවන් අතර පුදුමයට පත් කරවන තරම් බාලවයස්කරුවන් සංඛ්‍යාවක් සිටිනවා. පසුගිය සති අන්තයේ බාසිලෝනාහිදී රඳවා තබා ගත් පිරිසෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු අය. ඉතාලියේ ගැටුම්වලින් පසු මිලාන්හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය අතර බාලවයස්කරුවන්ද සිටියා. යුරෝපීය පාලකයින්, බොහෝ දුරට, කොල්ලකරුවන් සහ කලහකරුවන් එක් පැත්තකින්ද, ඝෝෂාකාරී නමුත් සාමකාමී, නීත්‍යනුකූලව සංවිධානය කරන ලද විරෝධතා තවත් පැත්තකින්ද වෙන් කර හඳුනා ගැනීමට වගබලා ගෙන තිබෙනවා. දෙවැන්න විශේෂිත හේතුවක් වෙත නැඹුරු වෙනවා. වර්‍තමාන විරෝධතා රැල්ලේදී, පුවරු සහ සටන් පාඨ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ අධ්‍යාපන දුෂ්කරතා, සමාජ අසමානතා සහ ඉහළ යන ජීවන වියදමයි. ඒ කෙසේ වෙතත් සෑම රටකටම ආවේණික වූ තමන්ගේම සමාජ ආර්‍ථික දේශපාලන ගැටලු ගොන්නක්ද මේ අරගල පසුබිමෙහි තිබෙනවා.” යනුවෙන් බීබීසී මාධ්‍යවේදිනියක සිය වාර්‍තාවේ සඳහන් කර තිබිණි. මේ, සමාජයීය හා ආර්‍ථික වශයෙන් මනා ස්ථාවරත්වයක් සහිත මහාද්වීපයක් බවට ප්‍රතිරූපයක් දශක ගණනාවක් පුරා පැවති මහාද්වීපයේ වර්‍තමාන යථාර්‍ථයයි. ලොව නන් දෙස, පශ්චාත් යටත්විජිත රාජ්‍යවල සංක්‍රමණිකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්ව තිබූ මහාද්වීපයක වර්‍තමාන මොහොතයි. අන්තිමේ, පැණි වරකා ගසටත් හෙණ වැදුණු මොහොතයි. “මේ මහාද්වීපයේ සමාජීය හා ආර්‍ථික වශයෙන් අස්ථාවර බවක් දැනෙනවා.” යැයි බ්‍රිතාන්‍යයේ මාධ්‍යයක් වෙතින්, විශේෂයෙන්ම බීබීසී වෙතින් ලොව හමුවේ ප්‍රකාශවීම තුළ ඇති බරපතළ උත්ප්‍රාසය අප තේරුම්ගත යුතුය. හුදු ගැටුම්, ගිනිතැබීම්, කොල්ලකෑම් ආදී සිදුවීම්වලින් ඔබ්බට, යුරෝපයේ රටවල්, දේශසීමා ඉක්මවා මහාද්වීපික අර්‍බුදයක් බවට පත්ව ඇති මේ අරගල ගැඹුරෙහි ඇති මහා පොදු සාධක කෙබඳුද යන්න විමසා බැලීම අවශ්‍යය. යටත්විජිතවාදයෙන් පසු තත්ත්වය අභිමුව අතීතයේ එක්තරා අවධියක මේ රටවල් රැසක් ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමරිකානු කලාපයේ රටවල් සිය යටත්විජිත ආධිපත්‍යයට නතු කරගෙන සිටියහ. ඒ මගින් එකී රටවල් දැවැන්ත සූරාකෑමකට හා ආර්‍ථික – දේශපාලන – සමාජ – සංස්කෘතික පීඩනයකට ලක් කළහ. ඒවාහි බහුවිධ සම්පත් සූරාකෑමෙන් සිය රාජ්‍යයන්හි සමෘද්ධිමත් අවධි ගොඩනගා ගත්හ. සිය යටත්විජිත රටවල නිදහස් අරගල ස්වදේශික ජනයාගේ සිය දහස් ගණනක් ජීවිත මතින් මර්‍දනය කෙරිණි. සිය අධිරාජ්‍ය සමාජ ආර්‍ථික ව්‍යුහය පවත්වාගෙන යාම පිණිස යටත් විජිතවල ස්වදේශිකයින් ලක්ෂ ගණනක් වහලුන් ලෙස යොදාගනු ලැබූහ. වහලුන්ගේ අරගල ගින්දරෙන් යකඩෙන් මර්‍දනය කළහ. වෙනකක් තබා වසර 500කට ආසන්න කාලයක් තිස්සේ ලෝකයේ භාවිත කළ මර්‍කේටර් සිතියම තුළ අප්‍රිකාව හා ගෝලීය දකුණේ රටවල් නිරූපණය වී තිබුණේද ඒවාහි සැබෑ විශාලත්වය පිළිබිඹු කරමින් නොවන බවත්, අප්‍රිකාවේ හා ගෝලීය දකුණේ රටවල් භූගෝලීය වශයෙන් කෙතරම් විශාලද හා බලවත්ද යන්නත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මෑතකදී අනාවරණය විණි. එහෙව් ඉතිහාසයක් සහිත යුරෝපයේ මේ අර්‍බුද මොහොත යනු අහම්බයක්ද, අනිවාර්‍යයක්ද යන්න අප කියවා ගැනීම අවශ්‍යය. පශ්චාත් යටත්විජිතවාදී රාමුවක් මඟින් සමකාලීන යුරෝපීය අර්‍බුද අර්‍ථකථනය කරන ප්‍රධාන මානයන් කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, අධිරාජ්‍යවාදී ප්‍රතික්‍රියාවක් ලෙස සංක්‍රමණික සහ දේශසීමා අර්‍බුදයයි. ප්‍රධාන යුරෝපීය දේශපාලන කතිකාව බොහෝ විට අප්‍රිකාව, මැදපෙරදිග සහ දකුණු ආසියාවෙන් සිදුවන සංක්‍රමණ බාහිර “ආක්‍රමණයක්” හෝ හදිසි මානුෂීය තත්ත්වයක් ලෙස අර්‍ථකථනය කරයි. නමුත් පශ්චාත් යටත්විජිතවාදී දැක්ම තුළ මෙය උඩු යටිකුරු කරයි. එය, “අපි මෙහි සිටින්නේ, ඔබ එහි සිටි නිසාය” යන ප්‍රතිපත්තිය මත පදනම් වේ. මේ අනුව, සංක්‍රමණය යනු ඓතිහාසික හා අඛණ්ඩ මැදිහත්වීම්වල එනම්, යටත්විජිතවාදී සූරාකෑම්, සීතල යුද සමයේ බලපෑම්, සම්පත් කොල්ලකෑම සහ නව ලිබරල් ආර්‍ථික ප්‍රතිපත්ති ආදියෙහි ඍජු ප්‍රතිඵලයකි. යුද බලකොටු යුරෝපය (Fortress Europe) සංකල්පය යටතේ යුරෝපීය දේශසීමා මිලිටරිකරණය කිරීම, ගෝලීය වර්‍ණභේදවාදී ක්‍රමයක් පවත්වා ගැනීමට ගත් උත්සාහයකි. යුරෝපයේ පැවැත්මට ගෝලීය දකුණෙන් උදුරාගත් ධනය සහ සම්පත් අවශ්‍ය වන නමුත්, එම සැපයුම් දාම හා භූ-දේශපාලනික මැදිහත්වීම් සමග ඓතිහාසිකව සම්බන්ධ වූ මිනිස්සු දැන් එම තත්ත්වය ප්‍රතික්ෂේප කරති. දෙවැන්න, ජාතිකවාදයේ නැගීම සහ “විෂාදජනක” අනන්‍යතාවයි. පශ්චාත් යටත්විජිතවාදී විශ්ලේෂණයට අනුව, යුරෝපය පුරා ජනප්‍රියවාදයේ සහ ජනවාර්‍ගික-කේන්ද්‍රීය ජාතිකවාදයේ නැගීම, අධිරාජ්‍යවාදයෙන් පසු ඇති වූ ‘විෂාදයේ’ (post-imperial melancholia) අර්‍බුදයකි. මෙහිදී, ගෝලීය ආධිපත්‍යය අහිමි වීම තුළ, බොහෝ යුරෝපීය ජාතික රාජ්‍ය යටත්විජිතවාදය අහෝසි වීමේ යථාර්‍ථය සමග කටයුතු කිරීමට අරගල කරමින් සිටී. එනම් ගෝලීය ආධිපත්‍යය, අධිරාජ්‍ය සහ එතෙක් අභියෝගයට ලක් නොකළ සුදු ජාතික උත්තරීතරභාවය අහිමි වී ගොස් තිබීමයි. තෙවැන්න, යුරෝපීය අධ්‍යාපනයේ සහ සංස්කෘතියේ පූර්‍ණ හෝ අර්‍ධ වශයෙන් මතකය අහිමිවීම සහ තෝරාගත් ඉතිහාසයයි. පාසල් විෂයමාලා, යටත්විජිත චරිතවල ප්‍රතිමා සහ කෞතුකාගාර කලා කෘති සම්බන්ධයෙන් යුරෝපයේ පවතින සමකාලීන සංස්කෘතික යුද්ධ මඟින් නිරූපණය වන්නේ, ඉතිහාසය සමග එකඟ වීමට ඇති දැඩි අකමැත්තයි. මෙහිදී, යටත්විජිතවාදය අමතක කිරීම සිදු කෙරේ. යුරෝපීය මහජන අධ්‍යාපනය බොහෝ විට පුනරුද යුගය, ප්‍රජාතන්ත්‍රවාදය සහ කාර්‍මීකරණය උත්කර්‍ෂයට නංවයි. නමුත්, අත්ලාන්තික් සාගරය හරහා වූ වහල් වෙළෙඳාමේ, අප්‍රිකාව යටත් කර ගැනීම්වල සහ ස්වදේශිකයන් යටපත් කිරීමේ ප්‍රචණ්ඩකාරී යථාර්‍ථයන් මඟහරියි. සිව්වැන්න වන්නේ, ආර්‍ථික අර්‍බුද සහ නව යටත්විජිතවාදයයි. 20 වැනි සියවසේ මැද භාගය වන විට ඍජු යටත්විජිත පාලනය බොහෝ දුරට අවසන් වූවද, නව යටත්විජිතවාදී ආර්‍ථික ව්‍යුහයන් අඛණ්ඩව පවතී. අසමාන හුවමාරුව සැලකීමේද, යුරෝපීය ධනය සහ සුබසාධන රාජ්‍ය තවමත් අසමාන වෙළෙඳ ගිවිසුම්, ගෝලීය දකුණේ සම්පත් සංස්ථාපිතව සූරාකෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන මඟින් අර්‍ධ වශයෙන් පෝෂණයවීම සිදු වේ. යුරෝපයේ අරගල පොකුරු ප්‍රංශයෙන් ඇරඹී මේ වන විට තවත් යුරෝපා රාජ්‍ය ගණනාවක පැතිරී ඇති මෙම විරෝධතා අරගල, ගැටලු ගණනාවක් සමග බැඳී පවතින බව පෙනේ. එසේම, TikTok හෝ Instagram හරහා ක්ෂණික ක්‍රමයකට විරෝධතා හා පාගමන් සංවිධානය කෙරෙන අතර, ශිෂ්‍ය සංවිධාන මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටී. ඇතැම් අන්තර්‍ජාතික මාධ්‍ය වාර්‍තා පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ ශිෂ්‍යයින් “කැරපොතු ජනතා පක්ෂය” ලෙස සංවිධානය වී සිදු කරන ලද විරෝධතා ආකෘතිය, මේ මොහොතේ යුරෝපා ශිෂ්‍ය ව්‍යාපාරවලටද උත්ප්‍රේරකයක්, ආදර්‍ශකයක් හා ආස්වාදයක් වී ඇති බවයි. කෙසේ වෙතත්, යුරෝපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කතිකාව තුළ මෙම විරෝධතා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ සංක්‍රමණික ප්‍රජාව වෙතය. පසුගිය දා ප්‍රංශයේ කෙන්ට්හි විරෝධතා දෙකක් පැවතී ඇති අතර, ඉන් එකක් සංක්‍රමණ වෙනුවෙනි. අනෙක, සංක්‍රමණවලට එරෙහිවය. එසේම, මෙම රටවල ඓතිහාසික ස්මාරකවලට හානි කිරීම් සිදු කරන්නේ සංක්‍රමණික ප්‍රජාවේ විරෝධතාකරුවන් බවටද මෙම ප්‍රධාන මාධ්‍ය වෙතින් චෝදනාවක් නැගේ. උත්ප්‍රාසයට කරුණ වන්නේ, අදින් දශක හෝ සියවස් කිහිපයකට පෙර මෙම සංක්‍රමණික ජනයාගේ මව්බිම්වල පැවති සංස්කෘතික උරුමයන් වැනසීමට කටයුතු කළේ යුරෝපයේ මෙම ආක්‍රමණික ජාතීන් බව අමතක වීමයි. ප්‍රංශ ජාතිකවාදී දේශපාලන ධාරාවේ තරුණ කණ්ඩායම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන් විරෝධතා දැක්වීමට තවමත් වීථියට බැස නොමැති නමුත්, ප්‍රංශයේ පාලනය කළ නොහැකි සංක්‍රමණ, ආරක්ෂාව මෙන්ම ජීවන වියදම පිළිබඳවද තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවය. මෙබඳු පසුබිමක රජයේ ප්‍රතිපත්තිවලට පමණක් නොව, සංක්‍රමණවලට පක්ෂ හා විරුද්ධ යන දෙපාර්‍ශ්වය අතරද ගැටුම් ඇතිවීමේ විභවයක් පවතී. යුරෝපයේ විශාල තරුණ පරම්පරාවක් සමකාලීනව අත්විඳිමින් සිටින ආර්‍ථික අසහනය අධ්‍යාපනයෙන් ඔබ්බට විහිදෙන බවත්, ඔවුන් පරිසරය පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින බවත්, එසේම කෘත්‍රිම බුද්ධිය (AI) ඔවුන්ගේ රැකියා අවස්ථා කොල්ලකනු ඇතැයි බිය වී සිටින බවත්, ඉහළ යන ජීවන වියදම සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීම වැළැක්වීමට සහ පවුලක් ආරම්භ කිරීමට තරම් විශාල නිවසක් මිල දී ගැනීමට හෝ කුලියට ගැනීමට නොහැකි වීමට හේතු විය හැකි යැයි ඔවුන් බියෙන් පසුවන බවත්, මෙම වර්‍තමාන අරගල හා විරෝධතා පසුබිමෙහි මෙම සාධකද පෙළ ගැසී ඇති බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බොහෝදුරට තරුණයින් විසින් මෙහෙයවනු ලබන මෙම පෙළපාලි, පාසල්වල පවතින තත්ත්වයන් සහ ඉන්ධන මිලේ පටන් සිය අනාගතය පිළිබඳ ගැඹුරු අනාරක්ෂිත හැඟීමක් සහ අවස්ථා ක්‍රමයෙන් ඈත්වී යමින් පවතින බවට ඇති හැඟීමක් දක්වා විහිදුණු මැසිවිලි මත පදනම් වී තිබේ. ෆ්ලෝරන්ස්හි Scuola Normale Superiore හි මහාචාර්‍ය ඩොනටෙලා ඩෙලා පෝර්‍ටා පෙන්වා දෙන්නී, විරෝධතා රැලි අඛණ්ඩව පැවැත්වෙන්නේ ඒවා හුදෙක් තනි පුද්ගල මැසිවිලිවලට වඩා පුළුල් කරුණක් වෙත ක්‍රමයෙන් යොමු වෙමින් පවතින නිසා බවයි. “විරෝධතාකරුවන්ගේ සමහර භෞතික ඉල්ලීම්වලට ආණ්ඩු විසඳුම් ලබා දීමට උත්සාහ කර ඇතත්, පෙළපාලි මෙහෙයවන පුළුල් දේශපාලන අභිලාෂයන් අවබෝධ කර ගැනීමට ආණ්ඩු අසමත් වී තිබෙනවා. මේ අවස්ථාව වන විට, විරෝධතා යනු හුදෙක් පාසල් පද්ධතියට වැඩිපුර මුදල් ආයෝජනය කිරීම පිළිබඳව පමණක් නොවෙයි. මිලිටරි වියදම්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ආණ්ඩුවල සන්ධානය, ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉරානයේ යුද්ධය ඇතුළු මූලික ගැටලුත් මෙහි තිබෙනවා. ඒ වගේම, පලස්තීන ප්‍රශ්නයත් මෙම විරෝධතා තුළ ඉතා කේන්ද්‍රීය වෙනවා.” ක්‍රමය පිළිබඳ අවිශ්වාසයේ සංඥාව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ, යුරෝපය පුරා පැවැත්වෙන විරෝධතා අඩුවීමේ කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි. ඇතැම් දිනවල ඒවා යම් දුරකට යටපත් වුවද, දින කිහිපයකට පසු නැවතත් උත්සන්න වේ. පැරිස්හි HEC ව්‍යාපාරික පාසලේ යුරෝපා සංගම් නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්‍ය ඇල්බර්‍ටෝ අලෙමානෝ පවසන්නේ, ඒවා එක නායකයකු හෝ වැඩපිළිවෙළක් නොමැතිව, විවිධ වූ සහ සම්බන්ධීකරණයකින් තොර වූ ඒවා බවයි. එම නිසා එය එක් ප්‍රතිපත්තියක් ප්‍රතික්ෂේප කිරීමකට වඩා, පද්ධතිය මඟින් යහපතක් ඉටු කරනු ඇතැයි ජනතාව තවදුරටත් විශ්වාස නොකරන බවට වන සංඥාවකි. ඒ නිසා ඒවා ඉතා දැඩි ස්වභාවයක් ගනී. යුරෝපා ආණ්ඩුවලට මෙම ගැඹුරු අසහනය විසඳීම අපහසු වී තිබේ. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙයට පහසු විසඳුමක් හෝ සරල විකල්ප නොමැති බවත්, බොහෝ ආණ්ඩු මෙතෙක් විරෝධතාකරුවන්ට බලය පෙන්වීමෙන් ඔබ්බට ගොස්, ගැටලුවලට ප්‍රායෝගික හා නිසා පිළිතුරු සැපයීමට අසමත් වී ඇති බවත්‍ය. එබැවින්, මෙම විරෝධතා අඛණ්ඩව පැවතීමට ඉඩ ඇති බවට ඔවුහු අනතුරු අඟවති. “ලෝක සමාජවාදී වෙබ් අඩවිය” ජර්‍මනියෙහි තත්ත්වය පිළිබඳව උපුටා දක්වමින් සඳහන් කරන්නේ, සමාජ සුබසාධන කප්පාදුවට, නැවත අවි ආයුධවලින් සන්නද්ධ කිරීමට සහ යුද්ධයට එරෙහිව තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතා සඳහා ජර්‍මානු රජය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ එහි ප්‍රතිගාමී ප්‍රතිපත්ති ආක්‍රමණශීලී ලෙස තීව්‍ර කිරීමෙන් බවත්, අන්තවාදී චෝදනා සහ ජාතිවාදී උද්ඝෝෂණ මගින් මෙම ව්‍යාපාරය බිය ගැන්වීමට උත්සාහ කරන අතරම, ජර්‍මානු රජය විසින් තම සමාජ ප්‍රහාර සහ රුසියාවට එරෙහි ඍජු යුද්ධයක් සඳහා වන සූදානම නොනවත්වාම ඉදිරියට ගෙන යමින් සිටින බවයි. ජර්‍මානු නගර 30 කට අධික සංඛ්‍යාවක තරුණ තරුණියන් 120,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 31 වන දින පැවති දැවැන්ත විරෝධතාවල දේශපාලන වැදගත්කම මෙම ප්‍රතිචාරයෙන් මනාව පැහැදිලි වන බවත්, අධ්‍යාපනය විනාශ කිරීමට, අහස උසට නගින ජීවන වියදමට, මිලිටරිවාදයට සහ අනිවාර්‍යයෙන් හමුදා සේවයට කැඳවීමට එරෙහි විරෝධතා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් බවත්, ඒවාට පුළුල් ජනතා සහයෝගයක් ලැබී ඇති බවත්, එක් මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 83% ක් විරෝධතා සඳහා තම සහාය සහ අනුකම්පාව පළ කර ඇති බවත් එහි දැක්වේ. ජර්‍මනියේ කම්කරු සංගම් පවා මෙම විරෝධතාවලට එක්වෙමින් පැවතීම මෙම අරගලවල දිශානතිය තවදුරටත් පුළුල් කරමින් තිබේ. මේ ලෝකයේ අරගල ඉතිහාසයේ පෙර කිසි කලෙකත් දක්නට නොවූ අරගල මාදිලියකි. පෙරට පැමිණ ඇත්තේ කිසිදු දේශපාලන මතවාදයකට අනුගත නොවන සමාජ පරම්පරාවකි. තාක්ෂණයේ ඉහළම අවධියක සිටින, තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ පරම්පරාවකි. “දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයින් අපව ගෙන ගොස් ඇත්තේ කොතැනටද කියා අපි දැක තිබෙනවා.” යැයි ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණේ සර්‍බියාවේ වීථි බට Gen Z හෙවත් Z පරම්පරාවේ ශිෂ්‍යයෙකි. එය සර්‍බියානු ශිෂ්‍යයින්ගේ ආකල්පය පමණක් නොවන බව රහසක් නොවේ. මේ වාක්‍යයම අපට, ඉන්දියාවේ ශිෂ්‍යයින් වෙතින් මීට සති කිහිපයකට පෙර ඇසිණ. ඉදිරියේදී තවත් රටවල් ගණනාවකින්ද මේ වැකිය ඇසෙනු නොඅනුමානය. මේ පරම්පරාව සිටින්නේ දේශපාලන මතවාද, දේශපාලන බලවේග ඉක්මවූ වෙනස් සමාජ කාල අවකාශයකය. “අරගල” යන්න කියූ සැණින් වාමාංශික දේශපාලන ධාරාව සිහියට නැඟෙන්නේ වුවද, මේ ගෝලීය සමාජ දේශපාලන මොහොතේ යුරෝපයේ මහාද්වීපික මාදිලියකින් නැඟී එමින් ඇත්තේ එබඳු වාමාංශික හෝ අන් කිසිදු දේශපාලන ධාරාවකට හෝ උරාගත නොහැකි, පාලනය කළ නොහැකි, මෙහෙයවිය නොහැකි දැවැන්ත විරෝධතා රළ ප්‍රවාහයකි. අනාගතයේ කෙබඳු හැඩතලයක් ගනු ඇත්දැයි පුරෝකථනය කළ නොහැකි අරගල පොකුරකි. කිව හැක්කේ එකක් පමණි. ඒ, ලෝකයේ යුරෝ කේන්ද්‍රීය භූ දේශපාලන කතිකාව, ඉතිහාසයේ නොවූ විරූ නව හැඩයකින් ලියැවෙන්නට පටන් ගනු ඇති බවය. ඒ යුරෝපයේ සාම්ප්‍රදායික වාමාංශික හෝ දක්ෂිණාංශික කිසිදු බලවේගයකට සුපුරුදු ලෙස හැසිරිය හැකි, මෙහෙයවිය හැකි සමාජ දේශපාලන කාල අවකාශයක් නොවනු ඇති බව නිසැකය. අනෙක් අතට, ඇමරිකා එක්සත් ජනපදයේ සටන් සගයා වන නේටෝවේ සාමාජිකයින් වූ මේ යුරෝපා රාජ්‍යයන්ගේ පැන නැගී ඇති අභ්‍යන්තර අර්‍බුද විසින්, විශේෂයෙන්ම මෙම රටවල් සමාජ සුබසාධන කපා දමමින් ඉහළ දමමින් ඇති මිලිටරි වියදම්වලට එරෙහිව හා අනිවාර්‍ය හමුදා සේවය සම්බන්ධ විරෝධය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය භූ දේශපාලන හා මිලිටරි මූලෝපායට පෙර නොවූ විරූ තීරණාත්මක බලපෑමකට ලක්වීමට සිදුවීම නොවැළැක්විය හැකිය. “මගේ පරම්පරාවට මේ පාලක පන්තිය විසින් සිදු කර ඇති නරකම හානිය වන්නේ අනාගතයක් ගැන සිතා ගැනීමට, සිහින දැකීමට ඇති හැකියාව පවා සොරකම් කිරීම යැයි මම සිතනවා.” ඉතාලියේ අරගලවලට සම්බන්ධ ශිෂ්‍යාවක ජාත්‍යන්තර මාධ්‍ය වෙත එසේ පවසා තිබිණ. හෙට දවසේ යුරෝපයේ දේශපාලන වංශය ලියැවෙන්නේ මේ පරම්පරාව අතිනි. ප්‍රභාත් චින්තක මීගොඩගේ
99mobile