
සාෆ් පාපන්දු කුසලානය දිනන සටනේ ශ්‍රී ලංකා භූතාන ගැටුම අද
FM Heart · 4 min read
කුසලානය දිනීමේ විශ්වාසය අපට තිබෙනවා – ජස්වර් උමර් වසර 31කට පසු දකුණු ආසියානු පාපන්දු කිරුළ මෙරටට රැගෙන ඒමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 8 වැනිදා ඉරිදා (අද) මුහුණ දෙන පළමු තරගය භූතාන ජාතික පාපන්දු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට සූදානමින් සිටියි. බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට නියමිතය. මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ (SAFF) මූලික වටයේදී ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ ඒ කාණ්ඩයටයි. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව භූතානය සහ සත්කාරක බංග්ලාදේශය තරග වදිනු ඇත. අද පැවැත්වෙන භූතාන තරගයෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නොවැම්බර් 11 වැනිදා බංග්ලාදේශය සමග සිය දෙවැනි තරගයට මුහුණ දීමට නියමිතය. මෙහිදී මූලික වටයේ කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් (FIFA Ratings) වල ශ්‍රී ලංකාව මේ වනවිට 184 වැනි ස්ථානයේ පසුවන අතර භූතානය පසුවන්නේ 187 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ ඉතා ඉහළ මානසික මට්ටමකිනි. පාපන්දු සභාපති ජස්වර් උමර්ගේ සැලසුම්සහගත මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කළ අතර විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී සීෂෙල්ස් රාජ්‍යයට එරෙහිව පිට පිටම තරග දෙකක් (30 සහ 2-0) ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකාව ප්‍රබල මොරිෂස් කණ්ඩායම ද 3-2ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේ අඛණ්ඩ ජයග්‍රාහී රැල්ලක් නිර්මාණය කර ගත්තේය. භූතානය සමග පවතින ඉතිහාසය දෙස බැලීමේදී ද ශ්‍රී ලංකාවට පැහැදිලි වාසියක් පවතින බව පෙනී යයි. මෙම වසරේ මුල් භාගයේදී (2026 මාර්තු මාසයේ) තායිලන්තයේ බැංකොක් නුවර පැවැති FIFA ජාත්‍යන්තර සුහද තරගයේදී භූතානය ගෝල් 4-1ක් ලෙස දරුණු පරාජයකට ඇද දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරගයේදී වේඩ් ඩෙකත්, බරත් සුරේෂ්, වසීම් රාසික් සහ රාහුල් සුරේෂ් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල වර්තා කළහ. එම නිසා අද පැවැත්වෙන තරගයට මානසික වාසියද ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ උපකාරී වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙන්ම ගෝල් රකින්නා ලෙස වගකීම දරන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන සුජාන් පෙරේරායි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂිත පෙළ ශක්තිමත් කිරීම සඳහා ක්ලෝඩියෝ කැමර්ක්නෙක්ට ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරන අතර මැදපෙළ මෙහෙයවීමේ වගකීම සුපිරි ක්‍රීඩක ඩිලන්ද සිල්වා වෙත පැවරී ඇත. මීට අමතරව ඉදිරි පෙළ ප්‍රහාරකයන් ලෙස රාහුල් සුරේෂ් සහ සාමුවෙල් ඩ්රරන්ට් වැනි වේගවත් ක්‍රීඩකයන් භූතාන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට සැරසී සිටිති. FIFA ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා සුළු වශයෙන් පසුපසින් සිටිය ද භූතාන කණ්ඩායම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි ප්රතිවාදියෙකි. ඔවුන් සතු වේගවත් ක්‍රීඩා විලාසය සහ ඕනෑම අවස්ථාවක තරගයක හැරවුම් ලක්ෂය සනිටුහන් කළ හැකි දක්ෂතා ඔවුන් සතුව තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රහාරක බලඇණිය මෙහෙයවන නායක චෙන්චෝ නෙල්ට්ෂෙන් ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලට දැඩි තර්ජනයක් විය හැකි ක්‍රීඩකයෙකි. 2015 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ලංකාවට එරෙහිව ගෝල රැස් කරමින් භූතානයට ජයග්‍රහණය උදාකර දුන්නේ ද ඔහුය. එමගින් භූතාන නායකයා කොටුකර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. අද පැවැත්වෙන ශ්‍රී ලංකා භූතානය සටන හුදෙක්ම තවත් එක් තරගයක් පමණක් නොවන අතර එය ශ්‍රී ලාංකීය පාපන්දුවේ නව පුනරුදයක ඇරඹුම සනිටුහන් කරන මාවතකි. සමබර සංචිතයක් දක්ෂ පුහුණුකාරිත්වයක් සහ මෑතකාලීන ජයග්‍රාහී ජවය සමගින් ශ්‍රී ලංකා සිංහයන් අද භූතානය මෙල්ල කරමින් SAFF තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කරනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු තබාගෙන සිටියි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී 1995 වසරේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව සාෆ් පාපන්දු කුසලානය දිනාගැනීමත් සමග ක්‍රීඩා ලෝලීන්ට අහිමි වූ රන්වන් අතීතය නැවත උදා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානමින් සිටී. මෙම ඓතිහාසික තරගාවලිය ගැන ශ්‍රී ලංකා පාපන්දු සභාපති මෙන්ම දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන ජස්වර් උමර් මහතා ශ්‍රී ලංකාවට සාෆ් කුසලානය නැවත දිනාදීමේ දැවැන්ත සුබ ලකුණ සහ ඔහුගේ විශ්වාසය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටී. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙවර සාෆ් කුසලානය දිනාගැනීමට සැබෑ ලෙසම ප්‍රායෝගික හැකියාවන් පවතින බවයි. 1995න් පසු අපට මෙම කුසලානය අහිමි වුවද වත්මන් පාලනාධිකාරිය යටතේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ සහ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්‍රීඩකයන් තුළ දැඩි ජයග්‍රාහී මානසික්ත්වය නිර්මාණය කරගෙන ඇති බවද කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ඇතුළු පිරිස බංග්ලාදේශයේදී දැඩි කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බවත් භූතානය සහ බංග්ලාදේශය සමග A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර ගෙන අවසන් මහා තරගය දක්වා ගමන් කිරීම අපහසු නොවන බවයි සුසිල් ජයකොඩි

