
තෙල් මිල සහ ජීවන බර
FM Heart · 4 min read
2026 නොවැම්බර් මස 06 වැනිදා සිකුරාදා තෙල් මිල වැඩිවීම් හරහා සාමාන්‍ය ජනතාව මත අසීමිත බරක් පැටවෙමින් තිබේ. මේ තෙල් මිල වැඩිවීම්වල අලුත්ම වටය ඉකුත් නොවැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් (LIOC), සයිනොපෙක් සහ ෂෙල් වැනි ඉන්ධන සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇත. ඒ සමග මෙරට පාරිභෝගිකයා මුහුණ දෙන ආර්ථික පීඩනය වැඩිවී ඇත. ඒ වන විට රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.500 කඩඉම ද පසුකරමින් දැන් රුපියල් 515ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට තෙදිනකට පෙර ද එනම් 2026 නොවැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙස මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ද තෙල් මිල වැඩි කිරීමක් කළේය. මේ අනුව දින කිහිපයක් ඇතුළත තෙල් මිල වැඩිවීම් ප්‍රධාන අදියර දෙකකින් සිදුව ඇත. පළමුව සිපෙට්කෝ මාසික මිල සූත්‍රයට අනුව සියලුම ඉන්ධන වර්ගවල මිල (භූමිතෙල් හැර) ඉහළ දැමූ අතර, පසුව ඉන්ධන අලෙවි කරන පෞද්ගලික සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල තවදුරටත් රුපියල් 20කින් ඉහළ නංවා ඇත. පොදුවේ මේ මිල වැඩි කිරීම් හමුවේ දැනටමත් ජීවන වියදමේ දැවැන්ත බරින් මිරිකී සිටින ජනතාවගේ දෛනික ජීවිතයට තවත් බරක් එක්වෙමින් ඔවුන්ගේ ආර්ථික පීඩනය තවත් උග්රවන බව කිව හැකිය. මෙම ඉන්ධන මිල ගණන් වැඩි වීම හමුවේ පොදුවේ ආර්ථිකයට මෙන්ම එදිනෙදා ජනජීවිතයට ද පුළුල් ආර්ථික බලපෑම් රැසක් ඇති කරනු ඇත. මේ තෙල් මිල වැඩිවීමට බලපෑ ප්‍රධාන හේතු ලෙස බලධාරීන් කියන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම හමුවේ මෙරට තෙල් ආනයන වියදම් ඉහළ යාමයි. මැදපෙරදිග පවතින භූ දේශපාලනික නොසන්සුන්තාවන් ලෝක තෙල් මිල වැඩි වීමට හේතු වී තිබේ. මීට පෙර නම් ලෝක වෙළෙඳපොළේ වැඩිවෙන විට, මෙරට තෙල් මිල වැඩි කිරීම නම් ආණ්ඩුවක් කුමට ද කියා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ ඇතැමුන් විමසූ අයුරු ද මෙරට ජනයාට මතක තිබේ. එහෙත්, දැන් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගතව ආර්ථිකය මෙහෙයවමින් සිටින නිසා පිරිවැය පිළිබිඹු වන මිල සූත්‍රයක් ද (Cost-reflective pricing formula) අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ මාසික මිල සූත්‍රයට පිටින් ද තෙල් අලෙවි සමාගම් තෙල් මිල ගණන් වැඩි කරමින් සිටී. මේ ගැන ආණ්ඩුවට ද පාලනයක් නැත. මේ නිසා වරින් වර තෙල් මිල වැඩි වීම් සිදුවෙනවා වෙනුවට අඩු තරමේ මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව මසකට එක වරක් කිසියම් නිශ්චිත ක්‍රමවේදයක් අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදු වන්නේ නම් එය ජනයාට පහසුවක් බව ද කිව යුතුය. විටින්විට සිදුවෙන මේ තෙල් මිල වැඩිවීම් හමුවේ ප්‍රවාහන ගාස්තු වැඩිවීම හරහා සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ඉහළ යෑමේ බලපෑමට මුහුණ දීමට ජනයාට සිදුවේ. ඉන්ධන මිල වැඩිවීම යනු මෙරට ආර්ථිකයේ රුධිර සංසරණය මෙන් ක්‍රියාත්මක වන ප්‍රවාහන අංශයට එල්ල වන සෘජු ප්රහාරයකි. ත්‍රිරෝද රථ, බස් රථ, ලොරි රථ සහ පෞද්ගලික වාහන සඳහා දැරීමට සිදුවන අධික වියදම නිසා ඒ සමගම බස් ගාස්තු සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩිවීම ද සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ බස් ගාස්තුවේ සිට ප්ලේන්ටියේ සිට වෙළඳපොළේ එළවළු, සහල් ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවදුරටත් ඉහළ යෑමයි. මේ වන විටත් මහ බැංකුවේ සියයට 5 ක ඉලක්කය ඉක්මවා ඉකුත් ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 ක් දක්වා උද්ධමනය වැඩිවී ඇත. මෙවැනි තෙල් මිල වැඩිවීම් හමුවේ උද්ධමනය තවත් වැඩිවීමට ද පීඩනයක් ඇති වේ. මේ ක්‍රියාවලියෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ කවු ද? මෙරට අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාය. දැනටමත් ස්ථාවර ආදායම් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට තම සේවා ස්ථාන වෙත ළඟාවීම සඳහා පෞද්ගලික වාහන හෝ පොදු ප්‍රවාහනය භාවිත කිරීමට සිදුව තිබේ. මෙරට පොදු ප්‍රවාහනයේ පවතින දුර්වල තත්ත්වය නිසා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අඩු තරමේ මෝටර් සයිකලයක් හෝ මිලට ගැනීමටය. මේ නිසා තෙල් මිල ඉහළ යෑමත් සමග මධ්‍යම පාන්තිකයාගේ මාසික අයවැය සම්පූර්ණයෙන්ම අස්ථායී වන අතර, එය ඔවුන්ගේ ඉතිරිකිරීමේ සහ පරිභෝජන ශක්තිය හීන කරයි. දැනටමත් මුහුණ දී සිටින උග්‍ර ආර්ථික පීඩනය තවත් උග්‍ර කරයි. එදිනෙදා ජනජීවිතයට අමතරව සමස්ත ආර්ථිකයටම මේ හරහා බලපෑම් එල්ල වෙයි. ඉන්ධන මිල ඉහළ යෑම නිෂ්පාදන වියදම ඉහළ නංවන බැවින්, දේශීය කර්මාන්ත සහ කුඩා පරිමාණ ව්‍යාපාර දැඩි අර්බුදයකට මුහුණ දෙයි. අපනයනකරුවන්ට මෙන්ම දේශීය වෙළඳපොළට භාණ්ඩ සපයන්නන්ටද වැඩිවන ප්‍රවාහන හා බලශක්ති පිරිවැය දරා ගැනීමට සිදුවීම නිසා ව්‍යාපාරික (හා රටේ අපනයන) තරගකාරීත්වය වැඩිවේ. මේ අනුව ඉන්ධන මිල මෙලෙස වරින් වර වැඩිවීම යනු රටේ සමස්ත ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන වියදමට සෘජුවම බලපාන කරුණකි. එබැවින්, බලධාරීන් සහ අදාළ පාර්ශ්වයන් මෙම මිල වැඩිවීම් පාලනය කිරීමට සහ ජනතාවට සහන සැලසීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කඩිනමින් සලකා බැලීම කාලීන හා හදිසි අවශ්‍යතාවකි. එසේ නැත්නම් දිනෙන් දින උත්සන්න වන ජීවන බර, සාමාන්‍ය ජනතාවට තවදුරටත් දරාගත නොහැකි වනු ඇත.

