
පුංචියි නංගියි දොර කඩා ඇතුළු වන විට ගෙල කපා මැරූ ශාලිකාගේ මළ සිරුර ඇඳ උඩ
FM Heart · 4 min read
රට ගිහින් දුක් විඳලා ගෙය හැදුවත් ශාලිකාටයි දරුවාටයි සති තුනක්වත් එහෙ ඉන්න බැරි වුණා පුංචි අම්මා කියයි සමන්ගේ මළ සිරුර වහලයේ එල්ලෙනවා පුතා දැකලා දොරගල කම්පා කළ කතාව දුව රට ගිහින් අවුරුදු ගාණක් දුක් වින්දේ ගොඩක් බලාපොරොත්තු ඇතුව. එයා ලංකාවට ඇවිත් ගේ හදාගත්තත් එකේ එයාටයි දරුවටයි සති තුනක්වත් ඉන්න බැරි වුණා යැයි එච්.ජී. හේමචන්ද්‍රා මහත්මිය පැවසුවාය. ගම්පොළ පුස්සැල්ලාව පොලිස් වසමට අයත් දොරගල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා තිබූ දිලානි ශාලිකා දයානන්ද (39) යන එක්දරු මවගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇගේ පුංචි අම්මා වූ හේමචන්ද්‍රා මහත්මිය මෙම කරුණු කීවාය. මෙම කාන්තාව ඝාතනය කළා යැයි සැක කරන ඇය ළඟින් ඇසුරු කළ අයකුගේ සිරුර ද එම නිවසේ පිටුපස වහලයේ එල්ලෙමින් තිබූ අතර මියගිය කාන්තාවගේ හත් හැවිරිදි එකම පුතු ඔහුගේ අත්තම්මාගේ නිවසේ එම රාත්‍රියේ සිටීම නිසා එම දරුවාගේ දිවි රැකී ඇති බව පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පැවසීය. මුහුණු පොතේ ටික්ටෝක් නිරූපිකාවක ද වන ශාලිකා ජීවන ගැටලු මැද විනෝදයෙන් සිටි තැනැත්තියක බවද හෙළි විය. ඝාතනය වූ දිලානි ශාලිකා විවාහ වී දොරගල පිහිටි මවගේ මහගෙදර වත්තේ කුඩා නිවසක් තනා ජීවත්ව සිට ඇත. ඇය සිය ආර්ථික තත්ත්වය නංවාගැනීමට හා නිවස සාදා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගෘහ සේවිකාවක ලෙස විදේශගතව සිට ඇත. වසර තුනක් පමණ එහි අපමණ දුක්විඳ නිවස සාදා ගැනීමට සැමියා වෙත මුදල් එවා තිබුණද රැකියාවක් නොමැති ඔහු බීමට ඇබ්බැහිව එම මුදල් විනාශ කර ඇත. පසුව ශාලිකා ලංකාවට පැමිණ සැමියාට දොස් නගා රැකියාවකට යන ලෙස ආරවුල් කිරීම නිසා එම සැමියා කොළඹට යන බව පවසා ගොස් තිබේ. ඉන් පසු ඔහු යළිත් නිවසට නොපැමිණීම නිසා ශාලිකා යළිත් විදේශගත වූයේ නිවස සාදා ගැනීමේ අරමුණ ඇතිවය. වසර කිහිපයක් එහි සිටි ඇය මීට මාස තුනකට පෙර ලංකාවට පැමිණ තම නිවස සාදා ගැනීම ආරම්භ කර ඇත. විදේශ ගතව සිටියදී හඳුනා ගත් සමන් නමැති අයකු ඇය දොරගල ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබූ අතර මාසයක් පමණ ඔහු ද මෙම නිවස සාදා ගැනීමට වෙහෙස වී ඇත. පසුව නිවසේ වැඩ නිමවී සති තුනකට පෙර ඇය මෙම නිවසේ පදිංචි වී ඇත්තේ උදව් උපකාර කළ සමන් ද සමගිනි. සාලිකාගේ පුතු ඇගේ නිවසට ආසන්නයේ ඇති මවගේ නිවසේ නතර කර ඇති අතර එම දරුවා එහි සිටම පාසල් ගොස් තිබේ. මෙයට හේතු වී ඇත්තේ ඇගේ අත තිබූ මුදල් නිවසට වියදම් වීම නිසා යළිත් ඇය හා සමන් විදේශගත වීමට සැලසුම් කර තිබූ නිසාය. හතර වැනිදා ඔවුන් විදේශ රැකියා ආයතනයකට යන බව ඇගේ මව වන චම්පා ගීතාංජනී (57) යන අයට පවසා තිබුණි. ඒත් තුන් වැනිදා රාත්‍රී සමන් හා ශාලිකා අතර යම් දෙයකට ආරවුලක් හටගෙන ඇත. 4 දා පුතු පාසල් ගොස් යළි නිවස වෙත එමින් සිටියදී සමන් යන අය වහලයේ එල්ලෙමින් සිටිනු දැක ඔහු ඒ බව තම පුංචි අම්මා වන හේමචන්ද්රාට පවසා තිබේ. පසුව හේමචන්ද්‍රා හා ශාලිකාගේ නැගණිය ද පැමිණ නිවසේ දොර ඇරීමට උත්සාහ කළද එය වසා තිබීම නිසා ඔවුන් දොර කඩා නිවසට ඇතුළු වීමේදී දැක ඇත්තේ ගෙල කපා ඇඳ උඩ ඝාතනය වී ඇති ශාලිකාගේ නිසල සිරුරය. මුළු කාමරයම ලෙයින් නැහැවී තිබූ අතර තියුණු පිහියක් ද ඇය අසල තිබුණු දැක ඇත. නිවසේ සිටි සමන්ගේ සිරුර පිටුපස වහලයේ එල්ලෙමින් තිබෙන අයුරු ද දුටු ඔවුන් මේ බව පුස්සැල්ලාව පොලිසියට දන්වා තිබේ. ගම්පොළ මහෙස්ත්‍රාත් සරසි පරණමාන මෙනවිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමේ දී ශාලිකාගේ පුතුගෙන් හා නැගනියගෙන් කරුණු විමසුවාය. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාවලපිටිය රෝහල වෙත යවන ලදී. ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නොමැති නිසා එම සිරුර නාවලපිටිය රෝහල වෙත යැව්වද එහි වෛද්‍යවරයා ද නොමැති නිසා මෙහි පරීක්ෂණය අද (6) දිනට කල් තබා ඇත. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන්, පොලිස් අධිකාරි ගුණවර්ධන යන නිලධාරීන්ගේ උපදෙස් මත පුස්සල්ලාව වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වක්කුඹුර, පොලිස් සැරයන් විජේසූරිය, පොලිස් කොස්තාපල්වරුන් වන ලීලානන්ද, ලියනගේ, හේරත්, බණ්ඩාර, වනසිංහ අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් වන පොලිස් සැරයන් (20191) නිලන්ත, පොලිස් සැරයෙන් (77177) අනුරුද්ධ, කාන්තා පොලිස් සැරයන් (2972) ඉනෝකා යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. ගම්පොළ- සුරංග දිල්හාන්

