FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නුවරඑළිය තැපැල් කාර්‍යාලයට සංචාරක ආකර්‍ෂණය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්...

FM Heart · 2 min read

The Heart Academy
ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්‍තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සර්‍ව ආගමික නායකයන්ගේ ආශීර්‍වාදය මධ්‍යයේ සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය යනු හුදෙක් තැපැල් සේවා සපයන රාජ්‍ය ආයතනයක් පමණක් නොව, නුවරඑළිය නගරයේ ඓතිහාසික උරුමය හා බැඳුණු සුවිශේෂී ගොඩනැගිල්ලක් බවයි. යටත්විජිත සමයේ ඉදිකරන ලද මෙම ඓතිහාසික තැපැල් කාර්‍යාලය වසර ගණනාවක් පුරා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අවධානය දිනාගත් නුවරඑළියේ ප්‍රධාන සංචාරක සලකුණක් බවත්, එහි ඓතිහාසික වටිනාකම හා ගෘහ නිර්‍මාණ අනන්‍යතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තැපැල් දෙපාර්‍තමේන්තුවේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය නව පහසුකම් සැලසීමත් සමඟ නුවරඑළියේ ඓතිහාසික තැපැල් කාර්‍යාලය හා ඒ අවට පරිශ්‍රය සංචාරක ආකර්‍ෂණය තවදුරටත් ඉහළ නැංවීමට දායක කරගැනීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය. නුවරඑළිය යනු දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් වාර්‍ෂිකව පැමිණෙන සංචාරක පුරවරයක් බැවින් එහි පවතින ඓතිහාසික ගොඩනැගිලි, පරිසරය හා අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරකයන්ට ආකර්‍ෂණීය අත්දැකීම් ලබාදිය හැකි පරිසරයක් නිර්‍මාණය කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තැපැල් සේවාවේ සාම්ප්‍රදායික වටිනාකම් ආරක්ෂා කරගනිමින් නවීන පහසුකම් සහිත සේවාවක් ජනතාවට ලබාදීම මෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා නව ආදායම් උත්පාදන අවස්ථා ඇති කිරීමද මෙම සංවර්‍ධන වැඩපිළිවෙළේ අරමුණු අතර වන බව අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී අවධාරණය විය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් මහත්මිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු, සර්‍ව ආගමික නායකයෝ සහ ආරාධිතයෝ රැසක් සහභාගි වූහ. නුවරඑළිය තැපැල් කාර්‍යාලයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරගනිමින් තැපැල් සේවාව හා සංචාරක කර්‍මාන්තය එකිනෙකට සම්බන්ධ කර නව සංවර්‍ධන අවස්ථා නිර්‍මාණය කිරීමේ වැඩපිළිවෙළේ වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලකිය හැකිය.
99mobile