
ට්රම්ප් පැරදුනු සතුටට කොළඹ කොටස් පිම්මේ උඩ යයි...
FM Heart · 2 min read
දිනය පුරා පැවති දැඩි කොටස් මිලදී ගැනීමේ උනන්දුව හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 589.18 කින් හෙවත් 2.87% කින් ඉහළ ගොස් දිනය අවසානයේදී ඒකක 21,130.30 ක් ලෙස සටහන් විය. වඩාත් සක්රිය සහ ප්රමුඛතම සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 (S&P SL20) දර්ශකය ඒකක 194.79 කින් (3.34% කින්) ඉහළ ගොස් ඒකක 6,000 සීමාවද ඉක්මවා යමින් දිනය නිමාවන විට ඒකක 6,029.88 ක් දක්වා ඉහළ නැංගේය. වෙළෙඳපොළේ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.43 ක් ඉක්මවා ගිය අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගයන් අතරට එක්විය. දිනය තුළ ගනුදෙනු 36,235 ක් සිදුව ඇති අතර, හුවමාරු වූ සමස්ත කොටස් පරිමාව විසිපස් කෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා (258,331,878) ගොස් තිබේ. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු මැතිවරණ ප්රතිඵලයත් සමඟ ගෝලීය වශයෙන් පැවති දේශපාලනික හා යුදමය නොසන්සුන්තාව ලිහිල් වනු ඇතැයි පළවන විශ්වාසය හේතුවෙන් ලෝක බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය ස්ථාවර වීම නැගී එන ආසියානු වෙළෙඳපොළ වෙත ධනාත්මකව බලපා ඇති බවයි. ගෝලීය මට්ටමින් ආයෝජන අවදානම් පහව යෑමත් සමඟ ශ්රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රාග්ධන වෙළෙඳපොළ වෙත විදේශීය සහ දේශීය ප්රාග්ධනය ගලා ඒම මෙම පිබිදීමට සෘජුවම දායක වී තිබේ.

