
සැබෑ උද්ධමනය 9.6%යි.. 8.3% ක් නොවේ..- HNB Stockbrokers
FM Heart · 2 min read
ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියද, එම සැබෑ මිල වැඩිවීම් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන් ඔස්සේ දේශීය පාරිභෝගික මිල දර්‍ශකයට නිසි පරිදි ඇතුළත් නොවීම මෙම විෂමතාවට ප්‍රධානතම හේතුව බව එම සමාගම පෙන්වා දෙයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්‍ශකය 209.9 සිට 212.4 දක්වා ඉහළ යා යුතුව තිබූ බවද ඔවුන්ගේ විශ්ලේෂණයේ සඳහන් වේ. මැදපෙරදිග කලාපයේ උද්ගත වූ යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, ලෝක ඩීසල් බැරලයක මිල 37.2% කින් ඉහළ යද්දී මෙරට වෙළෙඳපොළේ ඩීසල් ලීටරයක මිල 3.7% කින් පහත වැටී රුපියල් 285 ක මට්ටමක ස්ථාවරව පැවතිණි. එමෙන්ම විදුලි ගාස්තුවලද කිසිදු සංශෝධනයක් සිදු නොවීය. විශේෂයෙන්ම, කොළඹ පාරිභෝගික මිල දර්‍ශකය තුළ 31.6% ක විශාලතම බර තැබීමක් හිමි වන්නේ නිවාස, ජලය, විදුලිය සහ ගෑස් යන කාණ්ඩයටයි. එහෙත් එම කාණ්ඩය අගෝස්තු මාසයේදී 0.2% කින්ද, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී 0.1% බැගින්ද ඍණාත්මක අගයක් වාර්‍තා කර තිබීම ගැටලු සහගත බව HNB Stockbrokers පෙන්වා දෙයි. ලෝක වෙළෙඳපොළේ ප්‍රොපේන් ගෑස් මිල තීරණය කරන සෞදි ඇරම්කෝ මිණුම්දණ්ඩ අනුව ජූලි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 580 සිට ඩොලර් 720 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එසේ තිබියදීත්, මෙරට ප්‍රමුඛ ගෑස් සමාගම වන ලිට්‍රෝ සමාගම ජූලි මාසයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින්ද, සැප්තැම්බර් මාසයේදී තවත් රුපියල් 100 කින්ද අඩු කර ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එහි මිල රුපියල් 4,365 ක මට්ටමේ පවත්වාගෙන ගියේය. මේ හේතුවෙන් සැබෑ ආනයනික පිරිවැය පාරිභෝගික මිල දර්‍ශකයට නිසි පරිදි සංවේදී නොවූ බවත්, නිල වාර්‍තාවල උද්ධමනය සැබෑ තත්ත්වයට වඩා අඩුවෙන් පිළිබිඹු වීමට එය ප්‍රධාන ලෙස හේතු වී ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් අනාවරණය කරයි.

