
කට ඇරියොත් ඉල්ලීමක් කළොත් ත්රස්තවාදී ලේබලය ගහලා මිනිස්සු හිර කරන්නයි මේ හදන්නේ
FM Heart · 2 min read
පොල්දූව මංසන්ධියේ ජන අරගල විරෝධතාවේදී වසන්ත මුදලිගේ කියයි ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත හා සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීමේ පනත ගෙන ඒමට ආණ්ඩුව යළි උත්සාහ කළහොත් ජනතාව සමග එකතු වී එය පරාජය කරන බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඊයේ (4 දා) පැවසීය. ජන අරගල සන්ධානය මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මෙම පනත් දෙකට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දූව මංසන්ධියේ පැවැත්වූ විරෝධතාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. පොල්දූව මංසන්ධියෙන් විරෝධතාව ඊයේ දහවල් ඇරඹුණු අතර විරෝධතාකරුවෝ පා ගමනින් පාර්ලිමේන්තු පිවිසුම දක්වා ගොස් යළිත් ආපසු හැරී විත් පොල්දූව මංසන්ධියේ දියත උයන අසල විරෝධතා රැලියක් පැවැත්වීමට කටයුතු කළහ. මෙහිදී අදහස් දැක්වූ මුදලිගේ මහතා මෙසේද කීවේය. “රටේ මිනිස්සුන්ව පොලිස් කූඩුවල දාලා ඔළු පලලා මරලා දාන්න පුළුවන් විදියේ නීති ගේන්නයි මේ හදන්නේ. ඒ වගේම කට ඇරියොත්, විරෝධතා දැක්වුවොත්, අහිංසක මිනිස්සු මොකක් හරි ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලීමට ත්රස්තවාදී කියන ලේබල් එක අලවලා මිනිසුන්ව හිර කරන්නයි මේ හදන්නේ. මාලිමා ආණ්ඩුව බලයට එනකොට කිව්වේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. ඒත් දැන් කරන්නේ මර්දන නීති ගේන එක. ඒකට අපි ඉඩ තියන්නේ නෑ. ජනතාව එක්ක එකතු වෙලා මේක පරාජය කරනවා.” මෙහිදී කතා කළ ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා මෙසේ කීවේය. “මේ පනත් දෙක 4,5,6 දිනවලදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නයි මුලින්ම උත්සාහ කළේ. නමුත් ජනතා විරෝධය නිසා ඒක පස්සට ගත්තා. ආයෙත් මේක ගේන්න උත්සාහ කළොත් අපි පරාජය කරනවා. මහින්දලා රනිල්ලා මෛත්රිල හිතුවා වගේ ජවිපෙත් හිතන්නේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියල. ඒත් බලය ගිලිහෙන දවසක් එනවා. එදාට මේ මර්දනකාරී පනත් ඔවුන්ටම පාරාවළල්ලක් වෙනවා. ඒ වගේම 2022 දී දියවන්නාවෙන් එළියේ තිබුණු බලය තාම ඉවර නෑ කියලා අපි මාලිමාවට මතක් කරනවා. මේ පනත් ගෙනත් හමුදාවේ පොලිසියේ අයට ඔටුන්නක් දෙන්න නෙවෙයි ආණ්ඩුව හදන්නේ. ඔවුන්ව අළුගෝසු වැඩේට ගන්න. ඒක ඒ අය මතක තියාගන්න. ආයෝජන මණ්ඩලය, ගාමන්ට් හිමිකරුවන් මේ පනත් දෙකට විරුද්ධව කතා කරනවා. ඔවුන් මේ මාලිමා ආණ්ඩුව ගේන්න මුල් වෙච්ච අය. අපි ඔවුන්ට කියනවා තමන්ගේ හාම්පුතාට මේ මර්දනකාරී පනත් ගේන්න ඉඩ දෙන්න එපා කියලා. ඔවුන්ට පුළුවන් කියලා නතර කර ගන්න.” මෙම විරෝධතාව නිසා පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දූව මංසන්ධියේ දැඩි වාහන තදබදයක් ද පැවතුණි.

