
වාහන ලක්ෂ 90 ක දත්ත වලාන භාරයට
FM Heart · 2 min read
RMV ඇතුළේ දින 4 ක මෙහෙයුම: රථවාහන වංචා කළ කිසිවකු තාම හඳුනාගෙන නෑ ජාවාරම්කරුවන් හඳුනා ගැනීම පියවරෙන් පියවර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඇතුළු ආයතන කීපයක් ඒකාබද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව :(RMV) තුළ දින 4 ක් තිස්සේ ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී වාහන ලක්ෂ 90 ක සියලුම දත්ත තොරතුරු සිය භාරයට ගෙන ඇත. ඒ අනුව පසුගිය 1995 වර්ෂයේ සිට මේ දක්වා වසර 26 ක කාලසීමාවේ ලියාපදිංචි කළ සියලුම වාහනාවල තොරතුරු ලබාගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන මහා පරිමාණ වංචා දූෂණ, අක්‍රමිකතා සියල්ල සොයාගෙන ඊට සම්බන්ධ නිලධාරීන් මෙන්ම වංචනිකයන් අත්අඩංගුවට ගැනීමේ මූලික අදියර යටතේ මෙහි දත්ත සිය භාරයට ගැනීමේ මෙහෙයුම වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ප්රමුඛ ආයතන කීපයක් එක්ව ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 28 වැනිදාය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම ආරම්භ කර තිබිණි. මෙම මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමග පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය, ගඹුටෙක් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධ වී ඇත. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී මෙහෙයුමට සම්බන්ධවී සිටින උසස් නිලධාරියකු කියා සිටියේ රථවාහන වංචාවන් සිදුකළ කිසිදු පුද්ගලයකු මේ වනතුරු හඳුනාගෙන නොමැති බවයි. මේ වනවිට සිදුකරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු සියලුම දත්ත තොරතුරු තමන් යටතට ගැනීම පමණක් බවද එම නිලධාරියා කියා සිටියේය. මෙම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදු කර ඇති මහා පරිමාණ වංචා දූෂණ, ඊට සම්බන්ධ නිලධාරීන් හඳුනා ගැනීම පියවරෙන් පියවර සිදු කරන බව විමර්ශන නිලධාරිහු පවසති. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ තොරතුරු දත්ත පරිගණකගත කිරීම ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා ඇති සියලුම තොරතුරු අඩංගු දත්ත පද්ධතිය ඊයේ සවස් වන විට තමන් යටතට ගෙන අවසන් කළ බව ද විමර්ශන නිලධාරීහු කියා සිටියහ. හේමන්ත රන්දුණු

