
වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්
FM Heart · 3 min read
ත්‍රි’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ හයර් දුවලා වෙඩි කෑ ඩැරල් දෙහිබාලේට ජාවාරම්වල සල්ලි දෙන්න තියෙනවලු ඩැරල්ගේ ගෝලයකුටත් තුවාල ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි නාවික හමුදා සෙබළකු වෙඩි තබා ඝාතනය කර එහි සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට බරපතළ තුවාල කරමින් පාතාල කුලී ඝාතකයකු පෙරේදා (02දා) රාත්‍රී ටී 56 අවියක් යොදාගෙන එල්ල කළ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිබාලේ විසින් බවට පොලිසිය සැක පහළ කරයි. මෙහිදී ඝාතනයට ලක් වූ නාවික හමුදා සෙබළා මෙම ප්‍රහාරයේ ඉල්ලක්කයක් වී නොසිටි අයකු බව පොලිසිය පවසයි. ඔහු අමතර රැකියාවක් ලෙස ත්‍රිරෝද රථ කුලී සේවයේ නිරත වී සිටි අතර ඔහු මෙම ප්‍රහාරයේ ඉලක්කයක් වී නොසිටි අහිංසක පුද්ගලයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයන් දෙදෙනාම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව පොලිසිය පවසයි. පොලිසිය සැක පහළ කරන්නේ මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ඩැරල් නමැත්තා දකුණේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවටය. දෙහිබාලේට අයත් මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කර අදාළ මුදල් ලබානොදීම නිසා ඩැරල් සහ දෙහිබාලේ අතර ආරවුලක් පැවති බවත් එම ආරවුල මුල් කරගෙන මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටත් පොලිසිය සැක පහළ කරයි. බරපතළ තුවාල ලබා සිටින ඩැරල් නැමැත්තාට ඩුබායි රාජ්‍යයෙන් පෙරේදා රාත්‍රියේ ඇමතුමක් ලැබී ඇති අතර ඉන් කියැවී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගයක් කප්පල්තුරේ ප්‍රදේශයට ගෙන එන බවය. එම මත්ද්‍රව්‍ය තොගය භාර ගන්නා ලෙස ඩුබායි රාජ්‍යයෙන් කතා කළ ජාවාරම්කරුවකු ඩැරල්ට දැනුම් දී ඇත. ඩැරල් නමැත්තා කප්පල්තුරේ ප්‍රදේශයට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමට ඩුබායි රාජ්‍යයේ ජාවාරම්කරුවන් මෙම ඇමතුම ලබාදුන් බව නොදත් ඔහු කුලී ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන තම ජාවාරම් ගෝලයකු ද සමග පෙරේදා රාත්‍රි 8.30ට පමණ කප්පල්තුරේ ප්‍රදේශයට ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය ලබාගැනීමටය. පාළු ප්‍රදේශයක් වූ කප්පල්තුරේ ප්‍රදේශයේ වසා දමා තිබූ කුඩා කඩයක් අසල ත්‍රිරෝද රථය නතර කරගත් ඩැරල් නමැත්තා ඉන් බැස කිසියම් පුද්ගලයකුට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ. ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන මුවාවෙන් ත්‍රිරෝද රථය දෙසට පැමිණි පුද්ගලයකු ටී 56 අවියක් යොදාගෙන එම රථය වෙත වෙඩි ප්‍රහාර ගණනාවක් එල්ල කර පලාගොස් ඇත. ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයේ කුලී රියැදුරු ලෙස කටයුතු කළ නාවික සෙබළා සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේය. මෙම සෙබළා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි. වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන මෙම සෙබළා නිවාඩු ලබා පැමිණ, පසු තම ත්‍රිරෝද රථය කුලී සේවයට යොදාගෙන අමතර ආදායමක් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඩැරල් නමැත්තා සහ ඔහුගේ ගෝලයා ත්‍රිකුණාමලය රෝහලටත් පසුව අනුරාධපුර රෝහලටත් මාරුකර යවා ඇත. මෙම ප්‍රහාරය එල්ල කළ පාතාල කුලී ඝාතකයා සොයා ත්‍රිකුණාමලය පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි. හේමන්ත රන්දුණු සහ සමන් මල්ලවආරච්චි

