FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්‍ෂයට

FM Heart · 2 min read

The Heart Academy
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ සිදුවූ මාරක රිය අනතුරුවලින් දැරියක් ඇතුළුව පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කුලියාපිටිය, රුවන්වැල්ල, කුරුඳුවත්ත, තලංගම, මහබාගේ, ග්‍රෑන්ඩ්පාස්, නොර්‍වුඩ් සහ මහව යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්‍තා වන බවයි. කුලියාපිටිය – නාරම්මල මාර්‍ගයේ පූගල්ල හන්දිය අසලදී ලොරි රථයක්, යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 73 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. එම අනතුරෙන් යතුරුපැදිකාරිය, කුඩා පිරිමි දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එමෙන්ම අවිස්සාවේල්ල – කෑගල්ල මාර්‍ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 47 හැවිරිදි යතුරුපැදිකාරියක් මියගොස් ඇති අතර, කුරුඳුවත්ත ජේ.ඕ.සී. හන්දිය අසල පදික මාරුවේදී බස් රථයක ගැටීමෙන් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වුණා. තලංගම, අල් කටාස් පරිශ්‍රය අසලදී මෝටර් රථ දෙකක යතුරුපැදියක් ගැටීමෙන් 26 හැවිරිදි පසුපැදිකාරියක් මියගොස් ඇති අතර, මහබාගේ ගල්උඩුපිටිය හන්දිය අසලදී ප්‍රයිමුවර් රථයක ගැටීමෙන් 47 හැවිරිදි පාපැදිකාරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ග්‍රෑන්ඩ්පාස්, ආතර් ද සිල්වා මාවතේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් කැලණිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. නොර්‍වුඩ්, වෙන්චර් උඩ කොටස ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කැබ් රථයක පිටුපසින් ඇද වැටීමෙන් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම මහව, ඉපලෝගම ප්‍රදේශයේදී මාර්‍ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් මීරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, පසුපැදිකාරිය තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පැවසුවා. මෙම අනතුරුවලට සම්බන්ධ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .
99mobile