
එච්.අයි.වී. සමග ජීවත්වන්නන් 8700 ක් හදුනාගෙන – මේ අවුරුද්දේ විතරක් නව ආසාදිතයෝ 708 ක්
FM Heart · 2 min read
පමා නොවී HIV සායනවලට විත් පරීක්ෂාවක් කරගන්න එච්. අයි. වී. සමග ජීවත්වන්නන් මේ වනවිට 8700 ක් දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුලසිංහ මහත්මිය ඊයේ (25 දා) පැවැසුවාය. එසේම 2025 වර්ෂයේ එච්.අයි.වී. නව ආසාදිතයන් 874 දෙනකු වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් කළාය. එමෙන්ම මෙම වර්ෂයේ ගතවූ මාස දහයේදී එච්.අයි.වී. නව ආසාදිතයන් 708 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇය කියා සිටියාය. එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීමට මූලිකවම බලපා ඇත්තේ සමරිසි සම්බන්ධතාව සහ මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූවන් සිය ශරීරයට මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමත්, එම එන්නත් කටුවෙන්ම, එම එන්නත තවත් පුද්ගලයන්ගේ ශරීරයට විද ගැනීමත් බව ද අනාවරණය වී ඇත. එච්.අයි.වී තමන්ට ඇති බව තවමත් දැන සිටිනුයේ සියයට 66 ක ප්‍රමාණයක් බව ද ඇය කියා සිටියාය. ඒ අතරින් අවුරුදු 15 ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ද ඇය සඳහන් කළාය. 2025 හඳුනාගත් නව ආසාදිතයන්ගෙන් සියයට 87 ක්ම පිරිමි පුද්ගලයන් බව ද මෙහිදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උමේධා ජයසිංහ මහත්මිය පැවැසුවේ, එච්. අයි. වී. වෛරසයට ගොදුරුවන්නන්හට අවුරුදු 8ක් 9 ක් වනතුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවයි. මූලික වශයෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ විට භයානක තත්ත්වයක් උද්ගත වන බව ද ඇය කීවාය. දිස්ත්‍රික්ක 25 ක් ආවරණය වන පරිදි සායන 40ක් දිවයින පුරා ස්ථාපිතව ඇති බවත් ඒවාට පැමිණ ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබාගත යුතු බව ද ඇය කීවාය. එච්.අයි.වී වැලඳුණු පුද්ගලයකුට අවුරුදු 70 ක 80 ක ආයු කාලයක් පවතින බවත්, එය මුල් කාලයේම හඳුනාගතහොත් රෝගී තත්ත්වය පාලනය කරමින් සාමාන්‍ය පුද්ගලයකු ලෙස ජීවත් වීමේ හැකියාව පවතින බවත් ඇය සඳහන් කළාය. ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය මාධවී ගුණතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස යන මහත්ම මහත්මීහු ද කතා කළහ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජාතා ජයරත්න සහ ඒමන්ති මාරඹේ

