FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වාහන හුටපටේට වරද පිළිගත් ජොන්ස්ටන්ට රැ.130000ක දඩයක්

FM Heart · 3 min read

The Heart Academy
අත්හිටු වූ සිරදඬුවමකුත් වාහනය රාජසන්තකයි එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා තුනටම අදාළව රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩ මුදලක් කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඊයේ (25 දා) නියම කරන ලදී. එකලස් කර සන්තකයේ තබා ගන්නා ලද එම වාහනය රාජසන්තක කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එක් එක් චෝදනාවට අදාළව නියම කරන ලද දඬුවම් පහත පරිදි වේ. පළමුවැනි චෝදනාවට රුපියල් පන්දහසක (5000) දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගවන්නේ නම් මාස 1 ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය. දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩසහිත සිරදඬුවමක් නියම කළේය. තවද මෙම දෙවන චෝදනාවට අදාළව මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළේය. තුන්වැනි චෝදනාවට රුපියල් විසිපන්දහසක (25000) දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කළේය. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ සමදරී ප්‍රියසේන මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ එක්ලස් කරන ලද වාහනය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කිරීමට අවශ්‍ය බවයි. සිද්ධියට අදාළ තීන්දුව ලබාදීමට පෙර මහෙස්ත්‍රාත්වරයා විසින් පැමිණිල්ලෙන් සහ විත්තිකාර පාර්‍ශ්වයෙන් ප්‍රශ්න කිහිපයක් අසන ලදී. මහෙස්ත්‍රාත්වරයා – මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් විත්තිකරු අත්අඩංගුවට ගන්නා අවධියේදී පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියාද? විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පවසා සිටියේ එම අවධියේදී පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළ බවයි. මහෙස්ත්‍රාත්වරයා- මෙම නඩුවට අදාළ වාහනය දැන් කොහෙද තියෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව – ස්වාමීනී, 2024 /11/11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව අධිකරණ නියෝගයක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව භාරයට ගත්තා. දැන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ තිබෙනවා. මහෙස්ත්‍රාත්වරයා – මෙම සිද්ධියට අදාළව රේගු ආඥා පනත යටතේ චෝදනා නගා තිබෙනවාද? රජයේ නීතිඥ සමදරී ප්‍රියසේන මහත්මිය- ප්‍රවාහන ආඥා පනතෙන් තමයි චෝදනා නගා තිබෙන්නේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව- රේගු නිෂ්කාශනය නොමැතිව ගෙන්වීම සම්බන්ධයෙන් රේගුවට දන්නවා තිබෙනවා විමර්‍ශනයක් සිදු කිරීමට. ඉන් අනතුරුව විත්තිකාර පාර්‍ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දැක්වූවේය. “ස්වාමීනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්‍ශනය කරලා තියෙන්නේ රේගු ආඥා පනත සහ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ චෝදනා තුනක් යටතේ. මෙම සිද්ධියට අදාළවම ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් පුද්ගලයෙක්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. කෙටි කාලයකදී දත්ත සහ තොරතුරු ලැබීම මත මෙම නඩුව අවසන් කිරීමටයි පෙර නඩු දිනයේදී වරද පිළිගත්තේ. ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා දඬුවම් නියම කිරීමට අදාළ නියෝගය අධිකරණයට කියවා දුන්නේය. මහේස්ත්‍රාත්වරයා – “මෙම සිද්ධියට අදාළ විමර්‍ශනයේදී විත්තිකරු විසින් වරද පිළිගෙන තිබෙනවා. පෙර වැරදි කිසිවක් සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් කරුණු ඉදිරිපත් කරලා නැහැ. තවද මා විසින් අද අධිකරණයේදී අසන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු ද සැලකිල්ලට ගෙන දඬුවම් නියම කරනු ලබනවා. එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම, පාවිච්චි කිරීම ඇතුළු මෝටර් රථවාහන ආඥා පනතේ චෝදනා තුනක් යටතේ මෙම චූදිත වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව අධිකරණයට පැමිණිල්ලකින් චෝදනා ගොනු කර තිබුණි. ජර්‍මනියේ නිෂ්පාදිත බීඑම්ඩබ්ලිව් වර්‍ගයේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් සොයාගනු ලැබ තිබූ බවට අධිකරණයේදී කරුණු වාර්‍තා වුණි. හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
99mobile