
තෙල් සංස්ථාවේ ලක්ෂ 31ක අතිකාල දීමනා වංචාව: සැකකාර ආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්
FM Heart · 3 min read
අතිකාල දෙන්නේ සවස 4.45න් පසු වුවත් සැකකරු එම කාලයේදී රාජකාරි කර නෑ පැමිණිල්ල මෙහෙයවූ එස්.අයි. අධිකරණයේදී කියයි අතිකාල අරන් ඇත්තේ ඉහළ නිලධාරියාගේ අනුමැතියට යටත්වයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලබන දෙසැම්බර් 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25 දා) නියෝග කළේය. ඒ, 2015 – 2018 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවයි. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25 දා) පෙරවරුවේ බන්ධනාගාරය මගින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කළේය. එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පැමිණිල්ල මෙහෙය වූ උ.පො.ප. ඉන්දික මිලාන් මහතා කරුණු දැක්මින් කියා සිටියේ සැකකරු බොහෝ දිනවල සේවයට වාර්තා කර ඇත්තේ පෙරවරු 9.30 – 10.30 අතර කාලයක බවයි. එමෙන්ම ඔහු සේවයට වාර්තා කළ බවට සටහන් කර ඇත්තේ උදෑසන 7.30ට වන බවයි. එලෙසම සේවය නිම වී ගොස් පැය කිහිපයකට පසුව සේවය නිමකළ බවටද සටහන් තබා ඇති බවද පෙන්වා දුන්නේය. ඔහු යටතේ සේවය කළ රියැදුරන් ඇතුලු සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී මේ බව අනාවරණය වූ බවද සඳහන් කළේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල ලබා ගැනීමට හැකි වන්නේ සවස 4.45න් පසුව වුවත් අතිකාල දීමනා ලබා ගැනීමට සැකකරු එම කාල වේලාවේ රාජකාරී කර නොමැති බවද අතිකාල දීමනා සඳහා යොමුකර ඇත්තේ ව්‍යාජ සටහන් බවද කියා සිටියේය. අමතර රාජකාරි කළ බව සැකකරු සඳහන් කළද එවැනි රාජකාරි සිදු නොකළ බවද නිලධාරියා පෙන්වා දුන්නේය. ඒ අනුව සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් රුපියල් 100,000ට අධික බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදු කළේය. එහිදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පැවසුවේ, පොදු දේපළ පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපළ මීට අදාළ නොවන බවත්, මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් නොවන බවද, නියමිත ක්‍රමවේදයක් අනුව අතිකාල දීමනා ලබාගෙන ඇත්තේ ඉහළ නිලධාරියාගේ අනුමැතියට යටත්ව බවයි. එමෙන්ම එකී අතිකාල දීමනා ඉල්ලා ලබාගත් බවට සාක්ෂි නොමැති බවද මෙය දේශපාලන උසිගැන්වීමක් බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි. ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ඒ. ජේ. ඒ. අබේනායක

