FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඩිජිටල් අවකාශයේ යුද්ධයක්! පියොංයැංහි සයිබර් මංකොල්ලකරුවෝ

FM Heart · 7 min read

The Heart Academy
ලෝක ඉතිහාසයේ එක්තරා කාලයක දේශසීමා ජය ගැනුනේ කඩු, හෙලි සහ කාලතුවක්කු නාද මැද, යුද පිටිවලය. නමුත් එම යුගය දැන් අවසන්‍ය. අද ගෝලීය බල අරගලය ලියවෙන්නේ ඇසට නොපෙනෙන සයිබර් අවකාශය මතය. දැඩි ජාත්‍යන්තර ආර්‍ථික සම්බාධක හමුවේ හුදකලා වූ උතුරු කොරියාව, ගෝලීය මූල්‍ය පද්ධතියම දණ ගැස්විය හැකි ප්‍රබල බලඇණියක් පියොංයැං හි පවත්වාගෙන යයි. පියොංයැං යනු උතුරු කොරියාවේ අග නගරයයි. එම බලඇණිය හරහා ඔවුන් සිටින්නේ ලෝකයම බිය වද්දමනි. අප සාමාන්‍යයෙන් ඕනෑම මොහොතක ගැටුමක් ඇතිකර ගැනීමට සැදී පැහැදී සිටිනා පුද්ගලයන් දෙදෙනෙකු හඳුන්වන්නේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි කියාය. ඊට හේතුව දෙරට අතර සදාකාලිකවම පවතින නයි – මුගටි වෛරයේ ස්වභාවය නිසාය. මෙම පියොංයැං බල ඇණියේ සෙවනැලි වැඩියෙන් වැටී ඇත්තේ ද ඔවුන්ගේ පරම සතුරා වූ දකුණු කොරියාව දෙසටය. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ලොව ප්‍රමුඛ ක්‍රිප්ටෝකරන්සි හුවමාරු මධ්‍යස්ථානයක් වන බයිනෑන්ස් (Binance) වෙත විනාශකාරී සයිබර් ප්‍රහාරයක් එල්ල විය. හැකර්‍වරුන් ඉතා කෙටි කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ ඉන් කොල්ලකෑවේය. එය ක්‍රිප්ටෝ ඉතිහාසයේ වාර්‍තා වූ විශාලතම සොරකම බවට පත්විය. ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්‍යාංශය (FBI) මෙම ප්‍රහාරය උතුරු කොරියානු රජයේ අනුග්‍රහය ලබන ‘ට්‍රේඩර්‍ට්‍රේටර්’ (TraderTraitor) කණ්ඩායම විසින් සිදුකරන ලද්දක් බව සොයාගත්තේය. මේ ඔවුන්ගේ ප්‍රථම සයිබර් අපරාධය නොව. පසුගිය වසරේ පෙබරවාරියේ බයිබිට් (Bybit) ආයතනයෙන් ද ඩොලර් බිලියන 1.5ක් සොරාගත්තේත් මොවුන්මය. එවකට එය වාර්‍තාගත විශාලතම ක්‍රිප්ටෝ මංකොල්ලය විය. නමුත් දැන් එම වාර්‍තාව මෙම ප්‍රහාරයෙන් අභිබවා ගොස් ඇත. කෙසේ වෙතත් බයිනෑන්ස් ආයතනය තමන්ට සිදු වූ පාඩුවෙන් 90%ක් පමණ තමන් විසින්ම පියවනු ලැබීය. එහෙත් ප්‍රශ්නය එතැනින් නිමා නොවේ. මෙම ප්‍රහාරයේ ප්‍රබලත්වය කෙසේදයත් ප්‍රහාරකයන් ඉතා කෙටි කාලයක් තුළ විවිධ බ්ලොක්චේන් ජාල ගණනාවක් හරහා ඩිජිටල් පසුම්බි (Wallet) හිස් කර ඇති ආකාරය විශේෂයෙන් කැපී පෙනුණි. මෙලෙස සොරකම් කළ මුදලින් ඩොලර් බිලියන 3ක් පමණ විවිධ හවුල්කාර ආයතන සහ පද්ධති හරහා අත්හිටුවීමට හැකි වුවත් තවත් මුදල් විශාල ප්‍රමාණයක් දැනටමත් මුදල් සුදු කිරීමේ ජාල ( Money laundering) හරහා ගමන් කරමින් තිබිය හැකිය. දශකයක අපරාධ ඉතිහාසය මෙය හුදකලා සිදුවීමක් නොව. ‘ලසරස් ගෲප්’ (Lazarus Group) යන පොදු නාමයෙන් හඳුන්වන උතුරු කොරියානු හැකර් ජාලය වසර ගණනාවක් තිස්සේ ලෝකය පුරා ප්‍රහාර එල්ල කරති. ඒ අතර කීපයක් මෙසේ ය. 2014 දී සෝනි පික්චර්‍ස් ආයතනයේ පද්ධති අඩපණ කර රහස් දත්ත කාන්දු කිරීමට මොවුන් හවුල් විය. ඔවුන් එම ප්‍රහාරය එල්ල කළේ උතුරු කොරියානු නායකයා උපහාසයට ලක් කරමින් නිර්‍මාණය වූ චිත්‍රපටයකට එරෙහි පළිගැනීමක් ලෙසය. 2016දී බංග්ලාදේශ මහ බැංකුවේ ගිණුමකින් SWIFT පද්ධතිය හරහා ඩොලර් මිලියන 81ක් ඔවුහු කොල්ලකෑවෝය. ඊට අමතරව ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් සොරකම් කිරීමට උත්සාහ කළ බව ද වාර්‍තා විය. 2017දී ‘වන්නක්‍රයි’ (WannaCry) මුදල් කප්පම් වෛරසය රටවල් 150කට අධික සංඛ්‍යාවක පරිගණක ලක්ෂ ගණනක් අඩපණ කරවීය. 2022දී ‘රොනින්’ (Ronin) ක්‍රිප්ටෝ ජාලයෙන් ද ඩොලර් මිලියන 600කට වැඩි මුදලක් සොරකම් කළේය. එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්‍තා සහ සයිබර් ආරක්ෂක ආයතන ගණන් බලන ආකාරයට, මෑත වසරවල උතුරු කොරියාව ක්‍රිප්ටෝ සොරකම් මගින් ඩොලර් බිලියන ගණනක් උපයා ඇත. බයිබිට් සහ බයිනෑන්ස් සිද්ධි දෙකෙන් පමණක් එම සංඛ්‍යාව බිලියන හතකට අධිකය. උතුරු කොරියාව දුප්පත් සහ තාක්ෂණික වශයෙන් පසුගාමී රටක් ලෙස බාහිර ලෝකයට පෙනුනත් සයිබර් යුද්ධයේදී ඔවුන් අතිශය දක්ෂ හමුදාවක් බවට පත්ව ඇත්තේ අහම්බයකින් නොවේ. එය ක්‍රමානුකූලව ගොඩනඟන ලද රාජ්‍ය මූලෝපායික රාමුවක ප්‍රතිඵලයකි. කුඩා අවදියේදීම ගණිතයට හා විද්‍යාවට දක්ෂ දරුවන් හඳුනාගෙන ඔවුන් පියොංයැං ස්වයංක්‍රීයකරණ විශ්වවිද්‍යාලය (මිරිම් විද්‍යාලය) සහ මොරන්බොං විශ්වවිද්‍යාලය වැනි විශේෂිත ආයතන වෙත රජය විසින්ම යොමු කෙරේ. එහිදී කේත විකේතනය, හැකින් කලාව සහ පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ පුහුණුවක් ඔවුන්ට ලබා දෙනු ලැබේ. එරට ප්‍රධාන බුද්ධි අංශය වන ‘රීකොනසන්ස් ජෙනරල් බියුරෝව’ (RGB) යටතේ ක්‍රියාත්මක වන මෙම සයිබර් හමුදාවේ සාමාජිකයන් මේ වනවිට 8,400කට අධිකය. ඔවුන්ගේ ක්‍රමවේද තාක්ෂණික දෝෂ සෙවීමට පමණක් සීමා නොවේ. ව්‍යාජ රැකියා යෝජනා මගින් (LinkedIn වැනි ජාල හරහා) ඉංජිනේරුවන් රවටා ඔවුන්ගේ පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග ඇතුළු කරන ‘සමාජ ඉංජිනේරු විද්‍යා’ ( SocIal Engineering) ක්‍රමයද ඔවුහු අති දක්ෂ ලෙස භාවිත කරති. එපමණක් නොව, උතුරු කොරියානු තාක්ෂණ ශිල්පීන් විදේශීය අනන්‍යතා යටතේ අනෙක් රටවල සමාගම්වල දුරස්ථව රැකියා ලබාගෙන සිය ආදායම රටට යවන බවත්, සමහර විට එම තනතුරු හරහා ඇතුළු ප්‍රවේශයක් ලබාගන්නා බවත් ආරක්ෂක අංශ වාර්‍තා කර ඇත. සොරාගත් මුදල් සුදු කිරීම සඳහා ඔවුන් ක්‍රිප්ටෝ මිශ්‍රණ සේවා සහ භූගත අන්තර්‍ජාතික හුවමාරු ජාල භාවිත කරන බවද පෙනේ. රජයක් විසින්ම අපරාධ සංවිධානයක් මෙහෙයවීම භයානකද? සාමාන්‍ය සයිබර් අපරාධකරුවකු නීතියට හසුකර ගැනීම පහසුය. කොපමණ වැඩ කෑලි දැම්මද ඔහු නීතියට බියය. නමුත් රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර්‍වරුන්ගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‍ය. ඊට ප්‍රධානතම හේතුව ඔවුන්ට නීතිමය බියක් නොමැති වීමය. ඔවුන් සිය රටේම ආරක්ෂාව යටතේ සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට කිසිවකු තම රටේ නැත. ඇමෙරිකාව ඔවුන්ට එරෙහිව නම් සහිතව අධිචෝදනා ගොනු කර ඇතත් ඒවා ක්‍රියාවට නැඟීම පහසු නොවේ. එමෙන්ම ‘ට්‍රේඩර්‍ට්‍රේටර්’ලාට සම්පත් අසීමිතය. සාමාන්‍ය පුද්ගලික කණ්ඩායමකට හිමි වන්නේ සීමිත මුදලක් සහ කාලයක් පමණක් නමුත් රජයකට එවැනි සීමාවන් නැත. වසර ගණනක් පුරා ඉවසීමෙන් ඉලක්කයක් තුළ රැඳී සිට අවස්ථාව එන තෙක් බලා සිටීමට ඔවුන්ට ඇති හැකියාව ඉහළය. ඔවුන් සයිබර් අපරාධ මගින් සොරකම් කරනා මුදල් සාමාන්‍ය සංවර්‍ධනයට නොයෙදේ. එක්සත් ජාතීන්ගේ වාර්‍තා සහ බටහිර බුද්ධි අංශ ප්‍රකාශ කරන පරිදි, ඒවා න්‍යෂ්ටික සහ දිගු දුර මිසයිල වැඩසටහන් පෝෂණය කරන ප්‍රධාන ජීවන නාලියකි. එනම් ඔවුන් සයිබර් ප්‍රහාර එල්ල කරනා ගිණුමෙන් සොරකම් වූ මුදල අවසානයේ ගලා යන්නේ මහා පරිමාණව භූමි විනාශ කරනා ආයුධ සඳහාය. ට්‍රේඩර්‍ට්‍රේටර් යනු ගෝලීය මූල්‍ය විශ්වාසයට දැඩි තර්‍ජනයකි. බයිනෑන්ස් වැනි දැවැන්ත ආයතනයක් එක් රැයකින් බිලියන ගණනක් අහිමි කරගත හැකි නම්, සාමාන්‍ය ආයෝජකයාගේ විශ්වාසය ඉන් දැඩි ලෙස බිඳ වැටේ. මූල්‍ය පද්ධති ගොඩනැඟෙන්නේ විශ්වාසය මතය. ඒ අතර, එක් රටකට එරෙහිව ගන්නා අනිත් රටේ ප්‍රතිචාරය ද සැලකිය යුතුය. රාජ්‍ය මට්ටමේ සයිබර් ප්‍රහාරයක් බොහෝ විට ප්‍රතිප්‍රහාර සහ නව ආතතීන්ට හේතු විය හැකි බැවින්, මෙය හුදෙක් මුදල් සොරකමකට වඩා පුළුල් ගැටලුවකි. රාජ්‍ය මට්ටමේ කොල්ලවල සිට සාමාන්‍ය ජනතාව මුලා කරන සයිබර් ජාල දක්වා වන මෙම අපරාධ සංස්කෘතිය අද ගෝලීය වසංගතයක් බවට පත්ව තිබේ. උතුරු කොරියාව මෙන් රාජ්‍ය අනුග්‍රහය නොලැබුණද, සංවිධානාත්මක ජාවාරම්කරුවන් සහ දේශීය අපරාධකරුවන් එක්ව තාක්ෂණය අවභාවිත කරමින් මූල්‍ය පද්ධතියට එල්ල කරන අභියෝගය ලෝකයේ විවිධ රටවල මෙන්ම මෙරට තුළද පැහැදිලිව දැකගත හැකිය. ඊට හොඳම උදාහරණ රැසක් පසුගිය සමයේ මෙරටින් වාර්‍තා විය. විදේශගත සයිබර් අපරාධකරුවන් බොහෝ දෙනකු තමන්ගේ වැඩබිම බවට පත්කර ගන්නේ කුමන හෝ හේතුවකට ශ්‍රී ලංකාවය. අහක යන කුණු නාන අපි ශ්‍රී ලංකාව උතුරු කොරියානු හැකර්‍වරුන්ගේ ඉලක්කයක් නොවූවත්, ඔවුන්ගේ අපරාධ කතාවට අප රට ද හෙමිහිට පිවිස ඇත. 2016 දී බංග්ලාදේශ මහ බැංකුවෙන් සොරාගත් මුදලින් ඩොලර් මිලියන 20ක්ම බැරව තිබුණේ ලංකාවේ ගිණුමකටය. එම මුදල බැර වූ මෙරට පෞද්ගලික බැංකුවක් මෙතරම් විශාල මුදලක් ලංකාවකට එන්නේ කෙසේදැයි සැක කර ගනුදෙනුව නතර කළේය. එසේ නොවුණා නම් ලංකාවේ ගිණුමක් ලෝකයේ ඉහළම බැංකු සොරකමක අවසාන ගමනාන්තය වන්නට ද තිබිණි. 2017 දී තායිවාන බැංකු සොරකමක මුදල් ද මෙරට ගිණුම් කරා ගලා ආ අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. මෙම වසරේ අගෝස්තුවේ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්‍තමේන්තුව ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමක් වංචනික ගිණුමකට යැවූයේ ද රැවටීමෙනි. නමුත් එය නම් උතුරු කොරියාවේ වැඩක් දැයි තහවුරු වී නැත. මේ සියල්ල දෙස බලන විට, ලෝකයේ ප්‍රබලතම සයිබර් හමුදාවක් වුවද අපේ කුඩා දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පතක් අවශ්‍ය නොවේ. එයට සුදුසු බැංකු ගිණුමක් ඇත්නම් ප්‍රමාණවත්‍ය. සම්ප්‍රදායික සම්බාධකවලින් රටක් කොන් කළ හැකිය යන විශ්වාසයේ සිටි ලෝක බලවතුන්ට පියොංයැං හි සයිබර් බලඇණිය උගන්වමින් සිටින්නේ කටුක පාඩමකි. එය නුදුරු අනාගතයේ තවත් කොතරම් දුරකට දරුණු වේදෑයි කාටත් ඇස්තමේන්තු කළ නොහැකිය. කොතරම් ආරක්ෂාකාරී වුවත්, කොතරම් මුදල් වැය කළත්, සම්පූර්‍ණයෙන්ම අභේද්‍ය පද්ධතියක් මෙලොව නැත. බයිනෑන්ස් ලොව ප්‍රමුඛ ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථානයක් වන අතර, එහි ආරක්ෂක පද්ධති ගොඩනඟා ඇත්තේ ලොව හොඳම ආරක්ෂක විශේෂඥයින් විසිනි. එහෙත් පියොංයැං හි හැකර්‍වරුන්ට එය ද බිඳ දැමීමට හැකි විය. ප්‍රහාරකයාට අවශ්‍ය වන්නේ එක් දෙවැදෑරි කවුළුවක් පමණි. එම අසමමිතිය රාජ්‍ය අනුග්‍රහයෙන් සහ අසීමිත ඉවසීමෙන් සන්නද්ධ හැකර්‍වරුන්ට විශාල වාසියක් ලබා දෙයි. ඩිජිටල් යුගයේ දේශසීමා නැත. එබැවින් හෙට දින මූල්‍ය ලෝකය ආරක්ෂා කරගැනීමට නම් ගෝලීය සහ දේශීය ආරක්ෂක රාමු මීට වඩා බොහෝ සෙයින් බුද්ධිමත් හා ශක්තිමත් විය යුතුය. රටවල් අතර තොරතුරු හුවමාරුව, ආයතනවල නොනැවතී ඉහළ නැංවෙන ආරක්ෂාව සහ සාමාන්‍ය පුද්ගලයා තුළ සයිබර් දැනුවත්කම යන තුනම එකට ගොඩනැඟිය යුතුය. මන්ද, ලෝකයේ නම ගිය ආරක්ෂක අංශවලටවත් මෙම ප්‍රහාර සම්පූර්‍ණයෙන් වැළැක්විය නොහැකි බව දැන් ඔප්පු වී හමාරය. එරංදි කෞශල්‍යා මද්දුම kaushalyaerandi773@gmail.com
99mobile