FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එකම රටේ දෙවිදිහකට ගෙවන ඉවරයක් නැති ගෑස් කරැමය

FM Heart · 11 min read

The Heart Academy
කිලෝ 37.5ක ලාෆ්ස් සහ ලිට්‍රෝ එකම මිලක් ඒත් කිලෝ 12.5ක ලාෆ්ස් මිල වැඩියි ලාෆ්ස් සමාගම දැන් මාස තුනකට ආසන්න කාලයක් අපිව අසරණ කළා රටේ අඩුවට ගෑස් තියෙද්දී දැන් වැඩිගාණට ගන්න වෙලා පාරිභෝගිකයන් කියයි ලාෆ්ස් ගෑස්වලටත් රජයෙන් සහනාධාරයක් දෙන්න…නැත්නම් ආයෙත් පාරිභෝගිකයන්ට මාස ගාණක් බලන්ඉන්න වෙයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සභාපති අනුන්ගේ ගෑස් බැලීම තරම් එපාවෙන දෙයක් තවත් නැති තරම් ය. කහ ගෑස් එක ද රටේ පාරිභෝගිකයන්ට එසේ ගෑස් පෙන්නා දැනට මාස දෙකකටත් වැඩිය. දැන් එහි හොඳම කතාව අද වනවිට වෙළෙඳපොළේ කහ ගෑස් හිඟව තිබියදීත් එහි මිල ද අසාධාරණ ලෙස ඉහළ දමා තිබීමය. මෙරට කහ ගෑස් හිඟයෙන් පීඩාවිඳි පාරිභෝගිකයාට ලාෆ්ස් සමාගම මේ ටොක්ක අනින්නේ පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාධාරණ ලෙස ඉහළ යවමින්‍ය. එසේ මිල ඉහළ දමන්නේ කහ ගෑස් පාරිභෝගිකයාට එපාවෙමින් තිබුණු පසුබිමකය. එතැන් සිට ළැව් ගින්නක් සේ මේ ගෑස් කතාව රටපුරා ඇවිළෙන්නට පටන් ගත්තේ වත්මන් ආණ්ඩුවටත් නිවන්නට බැරි විදිහටය. දැන් ලාෆ්ස් සමාගම විසින් වැඩි කළ මිල යළිත් අඩුකර තිබේ. ඒ ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. හිඟය මදිවට ගණන් උස්සපු කහ ගෑස් පසුගිය 12 වැනිදා වනවිට මෙට්‍රික්ටොන් 3,000කට වැඩි LPG තොගයක් රැගත් නෞකාවක් මෙරටට සේන්දු වන්නේ දැනට මාස දෙකකටත් වැඩි කලක් ඇනහිට තිබූ මෙරට ලාෆ්ස් ගෑස් සැපයුම යළි පාරිභෝගිකයාට ලබාදෙන්නටය. එම නෞකාව පැමිණීමත් සමග ම ලාෆ්ස් සමාගම සිදුකළේ පසුගිය 13 දා සිට ගෑස් මිල ඉහළ දැමීමය. ඒ එතෙක් රුපියල් 4,965ක් ලෙස පැවැති කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රු.1,775කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 6,740ක් හැටියට ය. එමෙන්ම රුපියල් 1,988ක් ලෙස පැවැති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 2,720කි. මාස තුනකට ආසන්න කාලයක් පැවැති හිඟයකින් පසු යළිත් සැපයුම ආරම්භ කළ ලාෆ්ස් සමාගම එකවරම මෙලෙස ගෑස් මිල විශාල වශයෙන් ඉහළ දැමීම සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් විය. පුද්ගලික සමාගම්වලට වුවමනා විදිහට මිල වැඩිකරනවානම් ආණ්ඩුවක් මොකට ද? රටේ පාරිභෝගික අධිකාරිය නිදි ද? එසේ ජනතාවගේ මුවින් පිටවූයේ අසාධාරණ ලෙස වැඩි කළ ගෑස් මිල නිසාවෙන් පාරිභෝගිකයන්ගේ හිතෙහි පත්තු වූ ගින්දර ය. කොටින් ම මෙම මිල ඉහළ දැමීමත් සමග ලාෆ්ස් සමාගම විසින් අලෙවි කරනු ලබන කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් සහ ලිට්‍රෝ සමාගම විසින් අලෙවි කරනු ලබන ගෑස් සිලින්ඩරයක් අතර මිල පරතරය රුපියල් 2,375ක් විය. ඉකුත් සතියේ මේ අසාධාරණ ‘කහ ගෑස් මිලේ’ ඉහළ යැවීම නවතින්නේ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට මහජන විරෝධතාවයක් දක්වා දුරගිහින්‍ය. ඒ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළ සමාගමේ නිලධාරීන් පවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවා තිබිය දීය. එහිදී ගෑස් මිල ඉහළ දැමීමට හේතුවූ කරුණු පැහැදිලි කිරීම සඳහා එකී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු එම ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පාරිභෝගික කටයුතු අධිකාරිය හමුවේ පෙනී සිටියහ. එපමණක් ද නොව, එම සාකච්ඡාව සඳහා පාරිභෝගික අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්, මිල කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද සහභාගි වී තිබුණි. ගෑස් මිල වැඩිකිරීම පිළිබඳ පැවැත්වූ සාකච්ඡාව අතරතුර දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් සමාගම හමුවේ ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් කර තිබුණේය. ඉන් පළමුව ගෑස් සිලින්ඩර සඳහා තැන්පතු මුදල් ගෙවා ඇති පාරිභෝගිකයන්ට සාධාරණ වන්දියක් හෝ එම මුදල් ආපසු ලබාදීමක් අදාළ සමාගම සිදුකළ යුතු බවට ය. අනෙක් කාරණය දිවයින පුරා ස්ථාවර සහ අඛණ්ඩව ගෑස් සැපයුමක් එම සමාගම තහවුරු කළ යුතු බවටය. තුන්වන කාරණය හා එහි වඩාත් වැදගත්ම කතාව වන්නේ ලාෆ්ස් සමාගම විසින් ඉහළ දැමූ මිල ගණන් අනුමත නොකරන බවට පාරිභෝගික අධිකාරිය ලාෆ්ස් නිලධාරීන්ට දැනුම් දීමය. එහිදී ඇතිවන්නේ එකිනෙකාට චෝදනා කරගන්නා පැහැදිලි කිරීම් මාලාවකි. කොටින්ම ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කියා තිබුණේ ආයෝජන මණ්ඩලයේ සහන යටතේ ඉදිකරන ලද තම සමාගමේ හම්බන්තොට LPG පර්‍යන්තය දක්වා මෙම ගැටලුවේ මූලාරම්භය දිවයන්නක් බවය. “අපි පර්‍යන්ත සඳහා ටැංකි සහ යන්ත්‍රෝපකරණ ආනයනය කර එකලස් කරනවිට රජය අපට බදු සහන ලබාදුන්නා. එහි එක් කොන්දේසියක් වුණේ එහි ගබඩා කරන ද්‍රව පෙට්‍රෝලියම් වායු අපනයනය කිරීමයි. එසේ අපනයනය කරන සෑම මෙට්‍රික්ටොන් 100කට ම, මෙට්‍රික්ටොන් 40ක් දේශීය වෙළෙඳපොළට ගෙන ඒමට අපට අවසර ලැබුණා.” එහිදී වැඩිදුරටත් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කියා තිබුණේ කොවිඩ් වසංගතය, ආර්‍ථික බිඳ වැටීම හා විදේශ විනිමය අර්‍බුදය පැවැති කාලපරිච්ඡේදය තුළ තම සමාගම එකී ක්‍රමවේදයන්ගෙන් බැහැර වූ බවය. “2019 සහ 2024 අතර කාලය තුළ අපනයනයට ප්‍රමුඛත්වය දීම වෙනුවට අපි දේශීය පාරිභෝගිකයන්ට සැපයීම කෙරෙහි අවධානය යොමු කළා. ආයෝජන මණ්ඩලයේ විගණනයකින් පසුව, දේශීය වෙළෙඳපොළට එලෙස ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.” ඔහුගේ කතාවට පසුගියදා පාර්‍ලිමේන්තුව අමතමින් කර්‍මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්‍ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේ ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩලයේ සහන භුක්ති විඳිමින් සිය අපනයන වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම මෙම ගැටලුවට මුල්වී ඇති බවය. “ලිට්‍රෝ සමාගම දේශීය වෙළෙඳපොළට සැපයුම් කරමින් ඊට අදාළ බදු ගෙවනවා. ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩලයේ බදු සහන ලබාගනිමින් එම බදු නොගෙවා දේශීය වෙළෙඳපොළට සැපයුම් කිරීමට උත්සාහ කරනවා. ඔවුන් 2019 සිට එම බදු ගෙවා නැහැ. මෙම අර්‍බුදය ආරම්භ වූයේ එතැනින්.” ඇමැතිවරයා එසේ කියා තිබුණි. එහෙත් ලාෆ්ස් සමාගම කියන්නේ මෙම ගැටලුව ආරම්භ වන්නේ මෙරට වෙරළ තීරයෙන් එපිට බවය. ඒ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ ගෝලීය LPG මිල ඉහළ යෑම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති නාවික මාර්‍ගවලට බාධා එල්ල වීම, අන්තර්‍ජාතික බලශක්ති වෙළෙඳපොළේ අස්ථාවරත්වය සහ නැව් ගාස්තු හා රක්‍ෂණ පිරිවැය අධික ලෙස ඉහළ යෑම ගෑස් සැපයුම පහත වැටීමට හා මිල ගණන් ඉහළ යෑමට හේතු වූ බවය. ගෙවුණු සතිය තුළ මේ පිළිබඳ රටේ මහජන සංවාදය උණුසුම් වීමත් සමග ම පාරිභෝගික අධිකාරියට පැමිණි ලාෆ්ස් සමාගමේ නිලධාරීන්ට එයින් පිටව යන්නට සිදුවන්නේ ද ගෑස් මිල අඩුකරන බව පාරිභෝගිකයාට පොරොන්දු වෙමින්‍ය. ලාෆ්වල ගෑස් බහී ලාෆ්ස් සමාගම විසින් ඉකුත් 17 දා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5ක සිලින්ඩරයක මිල රු.745කින් අඩුකර තිබුණේ ය. ඒ අනුව එතෙක් රුපියල් 6740ක්ව පැවැති සිලින්ඩරයක නව මිල රුපියල් 5995ක් ලෙසය. තවද පෙර රුපියල් 2,720ක්ව පැවැති කිලෝ 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරය මිල රුපියල් 322කින් අඩුකර තිබූ අතර එහි නව මිල රුපියල් 2398ක් දක්වා මිල සංශෝධනය කර තිබුණේ ය. ඒ ලාෆ්ස් සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවා සිදුකළ සාකච්ඡාවේදී වෙළෙඳ ඇමැතිවරයා විසින් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියටය. මේ කතාවේදී වෙළෙඳ ඇමැතිවරයා කියූ කතාවක් සිහිපත් නොකරන්නේ නම් එය ද අඩුපාඩුවකි. ඒ ලාෆ්ස් සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයන් කැඳවා සිදුකළ සාකච්ඡාවේ දී ගෑස් හිඟය නිසා පීඩාවට පත් පාරිභෝගිකයා මිල වැඩිකිරීමෙන් තවදුරටත් පීඩාවට පත් නොකර දරාගත හැකි සාධාරණ මිලකට ගෑස් සපයන ලෙස ලාෆ්ස් සමාගමෙන් ඉල්ලූ කතාවය. “අදාළ සමාගම මුහුණ දී ඇති මූල්‍යමය සහ පරිපාලනමය ගැටලු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමේදී මතුව ඇති අභියෝග අනුව පාරිභෝගිකයන්ට අගතියක් නොවන ආකාරයටත්, සමාගම පවත්වාගෙන යෑමට හැකි වන ආකාරයටත් මිල සංශෝධනය සිදුකිරීමේ වැදගත්කම මා පෙන්වා දුන්නා. ලාෆ්ස් සමාගම විසින් පසුගියදා සිදුකළ මිල ඉහළ දැමීම කිසිසේත් පාරිභෝගිකයාට සාධාරණ නොවන බැවින්, රුපියල් දහසකින් එම වැඩි කළ මුදල අඩු කරන ලෙස එම සමාගමට දැනුම් දුන්නා. එම ඉල්ලීම සැලකිල්ලට ගෙන 17 දා මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.” අසාධාරණ විදිහට ගෑස් මිල වැඩිකිරීම් ගැන හොයන්න පාරිභෝගික අධිකාරිය වගේම ස්වාධීන ආයතනයකුත් තිබිය යුතුයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මිල අඩුකළාට තාමත් ගණන් ඇමැතිවරයා එසේ කියද්දී මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන යටතේ ලාෆ් ගෑස් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට ද ඒ වනවිටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබුණේ ය. වෙළෙඳ ඇමැතිවරයා කියන පරිදි ලාෆ්ස් සමාගම කිලෝ 12.5ක සිලින්ඩරය රුපියල් 745කින් අඩුකළ බව ඇත්තය. ඒත් පැවැති මිලට වඩා රුපියල් 1030කින් වැඩිවී ඇති බව සහතික ඇත්තය. එනම් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල රුපියල් 4,965කි. දැන් මිල රු.5,995කි. පෙර රුපියල් 1,988ක් වූ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල අද රු.2,398කි. ඒ පැවැති මිලට වඩා රුපියල් 410ක් වැඩියෙන් ය. ඒ අනුව පසුගිය 13 වැනිදාට පෙර පැවැති ලාෆ්ස් ගෑස් මිල ගණන්වලට සාපේක්‍ෂව නව මිලද තවමත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක පවතින්නේ ය. ලාෆ්ස්වලට දොස් එවන් තත්ත්වයක් තිබිය දී හිටිහැටියේ වැඩි අඩු වූ කහ ගෑස් මිල ගැන පාරිභෝගිකයන් නඟන චෝදනාවන් සුළුපටු නැත. අඩු මිලට රජයට අයත් සමාගමක ගෑස් තිබිය දී වැඩි මිලට ගෑස් මිලදී ගැනීම පාරිභෝගිකයන් ඇත්තටම කරුම ගෙවීමක් වැනිය. අඩුම තරමේ වැඩි මිලටවත් ගන්නට ද රටේ කහ ගෑස් අවශ්‍යතාවය තවමත් සපුරා නැත. හිස් සිලින්ඩරයට ද පාරිභෝගිකයාට තැන්පතු මුදල් ගෙවීමට එම සමාගමට එකඟ නැත. “වැඩි කළත් අඩුකළත් තාමත් කඩේ ලාෆ්ස් ගෑස් නැහැ. මේ සමාගම දැන් මාස දෙකකටත් වැඩියි පාරිභෝගිකයා අසරණ කරලා. දැන් මේ සිලින්ඩරවලින් අපට වැඩක් නැහැ. රටේ අඩුගාණට ගෑස් තියෙද්දී ඇයි අපි වැඩිගාණට ගන්නේ. අද වැඩිපුර ලිට්‍රෝවලට වඩා රුපියල් 1630ක ලාභයක් ලාෆ්ස් සමාගම උපයනවා. අපි කියන්නේ මේවා අසාධාරණයි. ලිට්‍රෝ සමාගමට ගෑස් අඩුවට දෙන්න පුළුවන් නම් ඇයි ලාෆ්ස් සමාගමට දෙන්න බැරි. අපි කියන්නේ කරන්න බැරි නම් මේවා රජයට පවරගෙන ජනතාවට අඩුවට ගෑස් ටික දෙන්න කියලයි.” එසේ කියන්නේ කොළඹ මහල් නිවාසයක වෙසෙන ගෘහණියකි. ඇයගේ කතාවට අපට ද එකඟ නොවීමට හේතු කාරණා නැත. පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුකළ ගෑස් මිල සංශෝධනයෙන් පසුව ඔක්තෝබර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනය කර තිබුණේ ද නැත. එහෙත් පසුගිය 13 වැනිදා වැඩිකළ ලාෆ්ස් ගෑස් මිල ඉකුත් 17 වැනිදා එම සමාගම නැවත වරක් සංශෝධනය කළේය. එහෙත් එම නව මිල අඩුකිරීමෙන් පසුව පවා ලාෆ්ස් කි.12.5ක සිලින්ඩරයක් ලිට්‍රෝ සිලින්ඩරයකට වඩා රුපියල් 1,630කින්ද, කි.5ක සිලින්ඩරයක් රුපියල් 648කින්ද මිලෙන් වැඩිය. එකී මිල ගණන් ප්‍රවාහන වියදම් මත පදනම්ව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැහැර අනෙකුත් දිස්ත්‍රික්කවල තවත් වෙනස් වන්නේ ය. “අද වැඩිමිලට ගන්නත් කඩේ ගෑස් නෑ. දැන් ආපු ගෑස් නැව ඉවර වුණාම ආයෙත් ගෑස් එන්නේ තව මාස ගාණකින්. මාසයක් රටේ කහ ගෑස් තිබුණොත් මාස තුනක් ආයෙත් නැතිවෙනවා. දැන් අපි ඉල්ලන්නේ අපේ සිලින්ඩරවලට තැන්පතු මුදල් හරි දෙන්න කියලයි.” තවත් පාරිභෝගිකයකු එසේ කීය. කහ කඩෙන් කනව ද? නිල් කඩෙන් කනව ද? ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑමත් සමග දැන් පාරිභෝගිකයාට ආහාර ගැනීමට ද යන හෝටලයේ භාවිත කරන ගෑස් වර්‍ග කුමක් දැයි සොයා බැලීමට ද සිදුව ඇත. ඒ ඉකුත් 13 වැනි ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑමත් සමග පසුගිය 15 වැනිදා සිට ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල රයිස්, කොත්තු සහ බත් පාර්‍සල්වල සහ කෙටි කෑම මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබීම නිසාය. ඒ අනුව ඔවුන් කෙටි කෑම මිල රුපියල් 5කින් සහ රයිස් හා කොත්තු මිල රුපියල් 15කින් ඉහළ දමා තිබුණි. එහෙත් ඉකුත් 17 වැනිදා ගෑස් මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලබාදෙමින් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10කින් හා කෙටි ආහාර මිල රුපියල් 2-3 කින් නැවත අඩු කර තිබුණි. එහෙත් එම මිල ගණන් ද පෙර පැවැති මිල ගණන්වලට වඩා වැඩිය. අප සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සභාපති හර්‍ෂණ රුක්ෂාන්ගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. “අද කිලෝ 37.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රු.20,725යි. කිලෝ 37.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයත් රු.20,725යි. මේ දෙකම අද එකම මිල ගණන්වලට තමයි විකිණෙන්නේ. ඒක කිලෝ 12.5ට එද්දී අද ලාෆ්ස් ගෑස් එක රු.5995යි. ලිට්‍රෝ ගෑස් එක රු.4365ක් වෙනවා. මේ දෙක අතර කිලෝ එකක වෙනස රු.130යි ශත 40ක්. එතකොට කිලෝ 37.5 ගෑස් සිලින්ඩර වර්‍ග දෙකම එකම මිලකට දෙනවා නම් මේ කිලෝ 12.5 සිලින්ඩරයේ මිල වැඩි වීමක් අඩුවීමක් වෙන්නේ ඇයි. මෙතැනදී රජය යම් සහනයක් ලිට්‍රෝ සමාගමට ලබාදෙනවා. ඒක ඇත්තට ම හොඳ දෙයක්. අපි කියන්නේ කහ ගෑස් එකටත් ඒ සහනාධාරය ලබාදුන්න නම් මේ ගෑස් දෙවර්‍ගයම හිඟයකින් තොරව පාරිභෝගික ලබාගන්න හැකියාව ලැබෙනවා කියලයි. නැත්නම් පසුගියදා ලංකාවට ආපු මෙට්‍රික්ටොන් 3000ක ලාෆ්ස් ගෑස් නැව ඉවර වුණාට පස්සේ ආයෙත් මාස ගණන් මිනිස්සුන්ට බලන් ඉන්න වෙනවා.” සභාපතිවරයා මෙරට ගෑස් ප්‍රශ්නය දකින්නේ එලෙසය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ කියන්නේ ද අසාධාරණ ලෙස වැඩිකළ ගෑස් මිල පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කළ යුතු බවය. “අසාධාරණ ලෙස වැඩිකළ ලාෆ්ස් ගෑස් මිල වෙනුවෙන් අපි හා මාධ්‍ය අද හඬක් නඟපු නිසයි මිල අඩුවන්නේ. ඒත් ඒ මිලත් දැන් ජනතාවට දරාගන්න අමාරුයි. මේකෙන් පෙන්නේ මේ රටේ සමාගම්වලට ඕන විදිහට තමයි භාණ්ඩවල මිල තීරණය කරන්නේ කියලයි. අද මේ සමාගම් වැඩි ගාණකින් මිල ඉහළ යවලා නැවත පොඩි ගාණකින් අඩු කරනවා. අපි කියන්නේ මේකට දැන්වත් රටේ ක්‍රමවේදයක් හැදිය යුතුයි කියලයි. කොහොමද ගෑස් මිල වැඩිකළේ කොහොමද අඩුකළේ කියලා වගකිව යුතු ආයතන පරීක්‍ෂණ කළයුතුයි. මොකද අද ලාෆ්ස් මිල අපට පිළිගන්න බැහැ. අදටත් මේ සමාගම ලොකු ලාභයක් ගන්නවා. අපි කියන්නේ මේවා හොයන්න රටේ පාරිභෝගික අධිකාරිය වගේම ඊටත් එහාගිය ස්වාධීන ආයතනයක් පිහිටවිය යුතුයි කියලයි.” මෙරට මාසිකව ද්‍රව පෙට්‍රෝලියම් වායු පරිභෝජනය මෙට්‍රික්ටොන් 38,000කි. එම සමස්ත ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 32,000ක්ම සපයනු ලබන්නේ ද ලිට්‍රෝ සමාගමය. එය රටේ මාසික ඉල්ලුමෙන් 80%කටත් ආසන්නය. ඉතිරි මෙට්‍ර්‍ක් ටොන් 6,000 නැත්නම් 20%ක ප්‍රමාණය සපයනු ලැබුවේ ලාෆ්ස් ගෑස් සමාගමය. එහෙත් එකී සමාගම එම පාරිභෝගික ඉල්ලුම ද සපුරාලීමට අද අපොහොසත් වී ඇත. මේ නිසාවෙන් දේශීය වෙළෙඳපොළ තුළ අර්‍බුදයක් ඇතිවී එම හිඩැස පිරවීමට සිදුව ඇත්තේ ද ලිට්‍රෝ සමාගමට ය. එවන් තත්ත්වයක් තිබිය දී මෙලෙස අසාධාරණ මිල වැඩිකිරීම හමුවේ මෙරට පාරිභෝගිකයා තවත් අසරණ කර තිබීම ඇත්තකි. අවසානයේ කියන්නට ඇත්තේ කහ ගෑස් සම්බන්ධයෙන් පවතින මෙම අරගලය තවමත් අවසන් වී නොමැති බවය. රමින්ද මාවතගේ
99mobile