
අරගලයෙන් පසු දේශපාලනය තුළ ‘රණවිරුවෝ’,‘ඉල් මහ විරුවෝ’ සහ ‘විමුක්තිකාමීන්’
FM Heart · 10 min read
‘ඉල් මහ විරුවෝ’ අතර කුප්‍රකට වෙඩික්කරු ලයනල් රණසිංහ යුද අපරාධ චෝදනා කන්දකට යටවූ ජයග්‍රාහී යුද හමුදාව කොටි ‘මහාවිරු’ සැමරුම ආරම්භ වේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 1971 සහ 1987-1990 කැරලි දෙකේදී මරණයට පත්වූ තම සාමාජික සාමාජිකාවන් සැමරීම අතිශය ආන්දෝලනාත්මක වූයේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය. ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයට (ජාජබ) ඓතිහාසික ජාතික මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ 2022 ක්‍රියාත්මක වූ ඇමෙරිකානු සහ ඉන්දියානු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ ‘අරගලයයි.’ (නමුත් විදේශීය බලවේගවලට අවශ්‍ය වූයේ එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන අන්තර්-වාර පාලනයක වැඩ බලන ජනාධිපති ලෙස පත්කිරීමටය. ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ඕනෑවටත් වඩා මීට පෙර ලිපි හරහා සාකච්ඡා කර ඇත). ‘ඉල් මහ සැමරුමට’ රජයේ දායකත්වය විධායකයේ ඍජු සහභාගිත්වයෙන් ලැබීම නිසි අවධානයට යොමු වී නැත. එදා ‘ජේ.ආර්. මරමු’ කියා රට පුරා පෝස්ටර් ඇලවූයේ අද විධායකය හිමිකර ගත් ජවිපෙ බව අමතක කළ නොහැක. නමුත් දේශපාලන බලය උඩුයටිකුරු වීම තුළ ජවිපෙ දියත් කළ කැරලිවලදී මරුමුවට පත්වූ සාමාජික සාමාජිකාවන් නව තලයකට ඔසවා ඇත. වැඩි කාලයක් යෑමට පෙර ඔවුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට වුවද ජවිපෙට අදහසක් පහළ වීමට අවස්ථාව ඇත. පසුගිය නොවැම්බර් 13 දින ජවිපෙ 37 වන ‘ඉල් මහ විරුවන්’ සැමරීම දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කළේය. ඒ ජාජබ ද නායකයා වන දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එම පක්ෂය සංවිධානය කළ තුන්වන ‘ඉල් මහ විරුවන්’ සැමරුමයි. රජය විසින් නොවැම්බර් 13, 1989 ඝාතනය කරන ලද පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර (දොන් ජිනදාස නන්දසිරි විජේවීර) මූලික කරගෙන රජයේ අනුග්‍රහයෙන් එම සැමරුම කිරීම විශේෂත්වයකි. නමුත් විජේවීර ඝාතනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු නොකිරීම විශේෂයෙන්ම අවධානයට ලක්වන්නේ මෙම ජාජබ ආණ්ඩුව බලයට පැමිණි විගසින් අනෙකුත් ආන්දෝලනාත්මක සිද්ධීන් විමර්ශනය කිරීමට නියෝග කළ බැවිනි. විජේවීර උලපනේ දී අත්අඩංගුවට පත්වීම සහ යුද හමුදාව විසින් ඔහුව මරා දැමීම සිදුවන අවස්ථාවේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ආකාරය අවධානයට යොමුවිය. අත්අඩංගුවට ගනු ලබන හෝ ආරක්ෂක හමුදාවට/පොලිසියට භාර වෙන ඕනෑම පුද්ගලයකුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිව යුතුය. වගවිය යුතුය. විජේවීරට ඒ ආරක්ෂාව ලැබුණේ නැත. අත්අඩංගුවට පත්වූ ජවිපෙ සාමාජිකයින් දහස් ගණනක් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කළේ නැත. ආරක්ෂා හමුදා, පොලිසියට අමතරව රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ නොයෙකුත් නම්වලින් හැඳින්වූ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දැමූ පුද්ගලයින් පිළිබඳව සංඛ්‍යා ලේඛන නැත. කෙසේ වෙතත් ‘ඉල් මහ විරුවන්’ සැමරුම ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ජවිපෙ/ජාජබ දේශපාලනය උපාය -මාර්ගයේ ප්රමුඛ කාර්යයක් වීම රටේ අවධානයට යොමු විය යුතුය. එජාප රජය විසින් ජවිපෙ සන්නද්ධ අභියෝගය මර්දනය කරන අවස්ථාවේ දී එම පක්ෂය තහනම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකා කටයුතු කළත් එම පක්ෂය නව මුහුණුවරකින් බලයට පැමිණීම මතුකරන ප්‍රශ්න නොසලකා හැරිය නොහැක. ‘ඉල් මහ විරුවන්’ සැමරුම මගින් රජයට එරෙහිව අවි ගත් පුද්ගලයින් ගෞරවයට ලක් වන බව අමතක කළ නොහැක. ජවිපෙ ඉතිහාසය සම්බන්ධව මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න එළිදැක්වූ කෘති අවධාරණය කළ තත්ත්වය අභියෝගයට ලක් කළ හැකි අයෙක් නැත. ‘ඉල් මහ විරුවෝ’ අතර සුප්‍රසිද්ධ නළු සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු අවම වශයෙන් 41 දෙනකු ඝාතනය කළ අංක එකේ ජවිපෙ වෙඩික්කරු පාලමමුල්ලලාගේ ලයනල් රණසිංහ ද ඇත. ඉහත සඳහන් කළ ඝාතනයට ලක් වූ පුද්ගලයින්ට අමතරව 2019 නොවැම්බර් 5 එළිදැක්වූ ධර්මන් වික්‍රමරත්නගේ ‘කොම්රෙඩ් ලයනල්’ කෘතියට අනුව එම වෙඩික්කරු කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා ද මරා දමා ඇත. ලයනල් රණසිංහ ද එජාප රජයේ අත්අඩංගුවේ මරා දමනු ලැබූ පුද්ගලයෙකි. නමුත් ලෝක දේශපාලන ඉතිහාසයේ එවැනි තහනම් කරන ලද සංවිධාන/පක්ෂ මහජන ඡන්දයකින් බලයට පත්වූ අවස්ථා විරලය. එවැනි පසුබිමක යම් කාලයක තහනම් කර තිබූ පක්ෂයක නායකයකු යම් රටක ජනාධිපති, සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය වශයෙන් පත්වීම පසුබිමේ ඇතිවන, ඇතිවිය හැකි තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැත. දේශපාලන බලය 2024 උඩු යටිකුරු වීමෙන් පසුව ‘රණවිරුවෝ’, ‘ඉල් මහ විරුවෝ’ සහ ‘විමුක්තිකාමීන්’ සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ඇතිවිය. ඊට ප්‍රධානතම හේතුව යම් සිද්ධියක් නැතහොත් නව තත්ත්වයක් පිළිබඳව කිසිදු අවහිරතාවයකින් තොරව මහජනතාවට සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අවකාශයයි. මාධ්‍ය, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය උණුසුම් වූයේ ‘රණවිරුවෝ’ ‘සෙබළුන්’ ලෙස 2025 ජාතික රණවිරු සැමරුම් උළෙලදී හැඳින්වීමත් සමග ය. එම සිද්ධිය දැඩි මාධ්‍ය අවධානය දිනා ගැනීමට තවත් හේතුවක් වූයේ උත්සවයට දිසානායක ජනාධිපතිවරයා සහභාගි නොවන බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ පූර්ව ප්‍රකාශයයි. එම ප්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල වූ අතර පෙර තීරණය වෙනස් කරමින් ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගි විය. බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ අවස්ථා දෙකකදී ජවිපෙ එල්ල කළ අභියෝගය පරාජය කිරීමට ආරක්ෂක හමුදා සහ පොලිසිය සමත්විය. ඉන්දියාවේ ඍජු මැදිහත්වීමෙන් 1987 ජුලි 29 වන දින අත්සන් කරන ලද ඉන්දු-ලංකා සාම ගිවිසුම ප්‍රකාරව ඉන්දීය හමුදා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ස්ථානගතවූ අතර ආරක්ෂක හමුදා සහ පොලිසිය ජවිපෙට එරෙහිව යොදවන ලදී. එම මෙහෙයුම් 1987 සිට 1990 මුල් මාස කීපය වනතුරු ක්‍රියාත්මක විය. එම කාලය තුළ මරණයට පත්වූ ජවිපෙ සාමාජිකයින් ‘ඉල් මහ විරුවන්’ ලෙස හඳුන්වන අතර 1971 කැරැල්ලේදී නැතිවූ සාමාජිකයින් ද එම කණ්ඩායමට ඇතුළත් වේ. නමුත් කිසිසේත්ම අමතක නොකළ යුතු කාරණාවක් ඇත. ජවිපෙ තෝරාගත් පිරිසකට අවි පුහුණුව ලබා දීම ආරම්භ කරන කිරීම ආරම්භ වූයේ ඉන්දීය හමුදා 1987 ජුලි 29 වන දින ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමට පෙරය. ජවිපෙ දෙවන වරට අවි ගැනීම ඉන්දීය හමුදාව පැමිණීමට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බවට සමාජගත වී තිබුණත් එය සත්‍යය නොවේ. ජවිපෙ තීරණයක් අනුව ලයනල් රණසිංහ අවි පුහුණුවට යොමු කර ඇත්තේ 1986 වසරේදීය. අද බොහෝ දෙනකුට අමතක නමුත් ‘ඉල් මහ විරුවන්’ සැමරුම ආරම්භ කරන අවස්ථාවේදී විජේවීර මරා දැමීමෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත්වූ සෝමවංශ අමරසිංහ ජීවත් වූයේ යුරෝපයේය. ඔහු පළමුවරට ‘ඉල් මහ විරුවන්’ සැමරීමට සහභාගි වූයේ 2001 නොවැම්බර් මාසයේදීය. ඒ වසර 12 කට පසුව චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග රජය සමග ඇතිකර ගනු ලැබූ එකඟතාවයකින් පසුව මෙරටට පැමිණීමෙන් පසුව ය. එතැන් සිට 2013 දක්වා සෑම ‘ඉල් මහ විරුවන්’ සමරුවකම ප්‍රධාන දේශකයා වූයේ අමරසිංහ යි. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට 2014 පෙබරවාරි මුල පත්වීමෙන් පසුව ඒ වසරේ ‘ඉල් මහ විරුවන්’ සැමරීම ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්විණි. ඊළඟ වසරේ ‘ඉල් මහ විරුවන්’ සැමරීමේ අවස්ථාව ළඟා වනවිට අමරසිංහ පක්ෂයෙන් ඉවත් වී සිටි අතර 2015 ‘ඉල් මහ විරුවන්’ සැමරීම් තුනක් සංවිධානය කර තිබිණි. ජවිපෙ ප්‍රධාන සැමරුම පැවැත්වූ අතර කුමාර් ගුණරත්නම් නායකත්වය දුන් පෙරටුගාමීන් ලෙස හැඳින්වූ 2011 දී ජවිපෙන් කැඩීගිය කණ්ඩායම සහ සෝමවංශ අමරසිංහ නායකත්වය දුන් ජනතා සේවක පක්ෂය ‘ඉල් මහ විරුවන්’ සැමරීම් කළහ. විමල් වීරවංශ නායකත්වය දුන් කණ්ඩායම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී පක්ෂයෙන් ඉවත් වූ අතර ඔවුන් වෙනමම දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට දායක විය. මෙවර ‘ඉල් මහ විරුවන්’ සැමරීමේ අවස්ථාව වන විට ජවිපෙ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ ක්‍රියාවලියේ සිට බොහෝ දුරක් පැමිණි ඇත. එදා ඇමෙරිකානු ව්‍යාපෘතියට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවූ ජවිපෙ එම රටවල් දෙක සමගම කිට්ටු සම්බන්ධතාවලට ඇතුළු වී ඇත. එම දෙරට සමගම ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් කර ඇත. භූමියේ ඇතිවී තිබෙන අදහාගත නොහැකි වෙනස ‘ඉල් මහ විරුවන්ට’ දැනෙනවා නම් ඔවුන් අනිවාර්යෙන්ම පුදුම වෙනු ඇත. ජවිපෙ, ජාජබ හරහා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයග්‍රහණය කිරීම අවධාරණය කරන දේශපාලන යථාර්ථය තේරුම් ගැනීම අපහසු නැත. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට අවස්ථාවක් නැති නමුත් වර්තමාන ලෝක සහ කලාපීය භූ දේශපාලනය තුළ දේශපාලන බලය අත්පත් කර ගැනීමට සහ එම තත්ත්වය ස්ථාවර කර ගැනීමට අවස්ථාවක් ඇත. ආරක්ෂක හමුදා අතින් 1990 වන විට සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ ජවිපෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 බලයට පත්වීමෙන් පසුව ජාතික මැතිවරණවලදී අනුගමනය කළ ක්‍රියාමාර්ග බලාපොරොත්තු වූ ලෙස සාර්ථක වූයේ නැත. වසර 1995 සිට 2019 දක්වා කාලය තුළ ජවිපෙ ලැබූ ඉහළම ජයග්‍රහණය 2004 මහමැතිවරණයේදී ආසන 39 ලබා ගැනීමයි. ජවිපෙ 2010 ජනාධිපතිවරණයේදී දෙවන කැරැල්ලේදී තමන්ට එරෙහිව මෙහෙයුම් කළ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දීමට පසුබට වූයේ නැත. අරගලයෙන් පසුව ඇතිවූ තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව සමග නව සම්බන්ධතා ගොඩනැගීමට ද පසුබට වූයේ නැත. පෙබරවාරි 2014 පක්ෂයේ නායකත්වය භාර ගැනීමෙන් පසුව තම දේශපාලන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ඕනෑම තත්ත්වයක් යටතේ තමන්ගේ උපාය මාර්ගික සැලැස්ම ඉදිරියට ගෙන යෑමට සූදානම් බව ජවිපෙ /ජාජබ නායක දිසානායක ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. ජවිපෙ සැමරුම් අතරේ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක වීම ඛේදවාචකයකි. දෙවැනි කැරැල්ල සමයේ ජවිපෙ ඇතිකළ භිෂණය සහ කළ විනාශය රටට අමතක නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක නොවැම්බර් 12 වන දින කල්ප ගුණරත්න විසින් මෙහෙයවූ සජීවී ‘අහස’ නාලිකාවේ ‘බල සටන’ වැඩසටහනේ දී 1971, 1987-1990 සහ 30 අවුරුදු යුද්ධය කළ විනාශය අවධාරණය කළේය. ජාජබ ආණ්ඩුවේ තුන්වන අය-වැය සම්බන්ධයෙන් මහාචාර්යවරුන් වන ප්‍රසාද් සේරසිංහ, එස්. පී. ප්‍රේමරත්න සහ ගාමිණී වීරසිංහගේ ද සහභාගිත්වයෙන් කළ එම සාකච්ඡාවේදී 1971 සහ 1987-1990 කැරලි හේතුවෙන් අහිමි වූ මූල්‍යමය වටිනාකම පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් බිලියන (ඇ.ඩො.බි) 40 ක් සහ 80 ක් ලෙස සඳහන් කළ අතර 30 අවුරුදු යුද්ධයේ විනාශය ඇ.ඩො. බි. 200 කි. සමස්ත එකතුව ඇ.ඩො. බි. 320 කි. ආරක්ෂක හමුදා ජවිපෙ සහ බෙදුම්වාදී ත්රස්තවාදීන් එල්ල කළ අභියෝගය ඉදිරියේ අසාර්ථක වූවානම් ජාතික ආර්ථිකය නැවත ගොඩනැගීමට නොහැකි වන පරිදි කඩා වැටීමට ඉඩ තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී (2005-2010) ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම ව්‍යර්ථ කිරීමට කළ උත්සාහය රහසක් නොවේ. ඒ සියලු අභියෝග හමුවේ යුද, නාවික සහ ගුවන් හමුදාව මෙන්ම විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසිය සහ ග්රාමාරක්ෂක සේවය ත්‍රස්තවාදී අභියෝගය ජයගත්තේය. අගෝස්තු 2006 සිට මැයි 2009 දක්වා සිදු වූ සටන් ආරක්ෂක හමුදාවන්ට ජීවිත 6,200 පමණ අහිමි විය. එම සංඛ්‍යාවෙන් 5,000 අධික ප්‍රමාණයක් යුද හමුදා සෙබළුන් සහ නිලධාරීන් විය. 2024 ජනවාරි සිට මැයි දක්වා සෙබළුන් සහ නිලධාරීන් 2,400 ජීවිත පූජා කළ බව ගුණමකු සිංහලයින්ට අමතකය. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ, විදේශීය යැපෙන නොවන සංවිධාන සහ ජන මාධ්‍ය ‘රණවිරුවෝ’ ‘මිනීමරුවෝ’ ලෙස දැකීම ප්‍රශ්නයක් නැත. කොටි ත්රස්තවාදීන්ට යුද්ධය ජයගැනීමට හැකි බවට විශ්වාස කළ ඔවුන් 2008 දී පුනරින්-පරන්තන්- අලිමංකඩ-කිලිනොච්චිය වේලුපිල්ලේ ප්රභාකරන්ට අහිමි වන තුරු ඊළාම් රාජ්‍යයක් පිළිබඳව සිහින මැවූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නින්දෙන් ඔවුන්ව අවදි කළේ ආරක්ෂක හමුදා බව අවධාරණය කළ යුතුය. යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කිරීම සමරන ත්‍රිවිධ හමුදා පෙළපාලිය 2016 දී නවතා දැමූ අතර ජාජබ පාලනය යටතේ නිදහස් උළෙලේදී ආරක්ෂක හමුදා ත්‍රස්තවාදය පරාජය කළ බව සඳහන් කිරීමට දේශපාලන අධිකාරිය වගබලා ගත්තේය. ආරක්ෂක හමුදා කළ එකම දේ දිත්වා සුළි කුණාටුවට හසුවූ ජනතාව බේරා ගැනීම බව සිතෙන තරමට තත්ත්වය නරක විය. ජයග්‍රාහී හමුදාවන්ට තහංචිය. දශක තුනක් ත්‍රස්තවාදය පතුරුවා අවසානයේදී නිර්භීතව සටන් කළ ආරක්ෂක හමුදාවන්ට පරාජය වූ එවුන් කරන නාඩගම්වල අවසානයක් නැත. යමක් අවධාරණය කළ යුතුය, ඇත්තවශයෙන්ම ඊළම වෙනුවෙන් සටන් කළ කොටි සංවිධානය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පමණක් නොව ඉන්දීය හමුදා සාමාජිකයින් 1,200 අධික ප්‍රමාණයක් ඝාතනය කළේය. නිලධාරීන් සහ සෙසු නිලයින් 2,000 අධික ප්‍රමාණයකට තුවාල සිදු කළේය. කොටි සංවිධානය උපක්‍රමශීලිව නිර්භීතව සටන් කළ බව පිළිගත යුතුය. ඔවුන් කළ යුද්ධය 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුව ආශ්රිත භූමියේ අවසන් විය. එතැන් පටන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නගමින් රටේ ඒකීය භාවය අහිමි කිරීමට යුද්ධය තමන්ගේ දේශපාලන වාසියට හරවා ගත් පිරිස්, ඩොලර් කාක්කන් සහ යුද්ධය විදේශීය පුරවැසිභාවය ලබා ගැනීමට සහ ‘ආර්ථික සරණාගතයින්’ රට පැටවීම අතිශය ලාබදායි ව්‍යාපාරයක් කර ගත් සංවිධානාත්මක පිරිස්ය. රටේ ඒකීයභාවය ආරක්ෂාකර දශක දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඉන්දියාවේ ඍජු මැදිහත් වීමෙන් 80 ව දශකයේදී ස්ථාපිත කර බටහිර ආණ්ඩුවල පූර්ණ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ විනාශකාරී යුද්ධය සාකච්ඡා මාර්ගයෙන්, යම් අවස්ථාවල ජාත්‍යන්තරයේද සහභාගිත්වය ද ඇතිව අවසන් කිරීමට කළ උත්සාහයන් සියල්ල කොටි ත්රස්තවාදීන් විසින් ප්‍රතික්ෂේප කර 2006 අගෝස්තු මාසයේදී අවසන් යුද්ධය ආරම්භ කළ ආකාරය ලොව ඉදිරියේ තැබීමට අපට තවම නොහැකි විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ, දෙමළ මන්ත්‍රීවරු හැර, ලැජ්ජා විය යුතු නොවේද? දෙමළ මහජන නියෝජිතයින් ද ලජ්ජා විය යුතුය. පාසල් දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යුද්ධයට යැවූ, දරුවන් මරාගෙන මැරෙන බෝම්බ බවට පරිවර්තනය කරන තුරු කිසිවක් නොදත්තා සේ සිටි මහජන නියෝජිතයින් ඊළාම් ඉල්ලීම තරම් විකාරයක් නොවේද? ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

