FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කාබන් අඩුකරන බරත් ධීවරයන්ගේ කරේ?

FM Heart · 11 min read

The Heart Academy
හරිත සංක්‍රාන්තිය හමුවේ ධීවර ප්‍රජාවගේ අනාගතය ධීවරයන් තාක්ෂණයට කැමතියි ඒත් කලබලේ කරන්න ගිහින් අසාර්‍ථක වුණොත් ආපහු ඒ තැනට යන්න බැරි බැරිවෙනවා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වන අජිත් නිශාන්ත මීගමුවේ වෙරළ තීරයට ඇදී එන රළ පෙළ එකිනෙක පරයමින් ඉහළට නැඟී යළිත් වෙරළේ වැදී විසිරී යයි. නිර්‍මලා පෙරේරා මුහුදේ රළ නැඟෙන හැටි බලා සිටින්නේ, තම ජීවිතයට දිනෙන් දින කඩා වැටෙන අභියෝග රැල්ල ද දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නාක් මෙනි. කලක් සිය ජීවිතයට බලාපොරොත්තු ගෙන ආ ධීවර කර්‍මාන්තය අද ඇයට ගෙන එන්නේ අවිනිශ්චිත බවකි. ඉන්ධන මිල ඉහළ යෑමත්, මුහුදෙන් ගොඩට එන මාළු අස්වැන්න දිනෙන් දින අඩුවී මාළු මිල ඉහළ යද්දී කරවල වේලා ජීවිකාව කරගත් ඇයට, ඇයගේ කර්‍මාන්තය පවත්වාගෙන යා නොහැකි තරමට අර්‍බුදකාරී වී ඇත. ඇගේ සිතෙහි ඇත්තේ එකම ප්‍රශ්නයකි. ඒ හෙට දවසේ තමන්ගේ ජීවිතය රැකගන්නේ කෙසේද යන්නය. පොසිල ඉන්ධන භාවිතයෙන් ධීවර කර්‍මාන්තයේ යෙදෙන යාත්‍රා පුනර්‍ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වී හරිත සංක්‍රාන්තියකට ගමන් කළ යුතු යැයි ලෝකය කතා කරයි. ඒ වෙනසෙහි බර කර මතට වැටෙන ඇය වැනි සාමාන්‍ය ධීවර කාන්තාවන්ගේ අනාගතය කෙබඳු වේවිද යන්න මා ඇයගෙන් විමසුවද ඇය කිසිවක් නොදොඩාම මවිතව මදෙස බලා සිටියා ය. “ඒ මොකද්ද මහත්තයෝ ඇහුවෙත් අදයි, තෙල් නැතුව වතුර දාලද බෝට්ටු එළවන්නෙ. ඒකත් දුප්පත් අපිටම වදින බඩේ පාරක් වෙන්න ඇති” ආදී ලෙස අතොරක් නැතිව සිතේ නැගුණු ප්‍රශ්න ගොන්න දිගහැරියාය. 2050 වන විට ෆොසිල ඉන්ධන (ඩීසල්, භූමිතෙල්) වලින් තොර, කාබන් විමෝචනයෙන් තොර රටක් ඇතිකිරීමේ ඉලක්කයට යෑමේදී එහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ නීල හරිත ආර්‍ථිකයක් ඇති කිරීමයි. එය සාකච්ඡා වටමේසවලට පමණක් සීමා නොවිය යුතුය. එසේම මේ ගමනේදී ඔවුන් වින්දිතයන් නොවිය යුතුය. පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්‍ජනනීය බලශක්තිය වෙත පිය නැගිය යුතු බව පැවසුවද පොදුවේ ධීවර ප්‍රජාවන් මෙන්ම ධීවර කර්‍මාන්තය ආශ්‍රිතව ජීවිකාව ගෙන යන කාන්තාවන් ද මේ සම්බන්ධව දැනුවත් කළ යුතුය. එමෙන්ම ඔවුන්ට මේ සඳහා අනුගත වීමේ හැකියාව තක්සේරු කළ යුතුය. කෙසේ නමුදු නිර්‍මලා පෙරේරා සමග කළ කතා බහ අවසානයේ හරිත සංක්‍රාන්තියේදී ඔවුන්ගේ හඬටත් ඉඩක් ලැබේද යන්න තව දුරටත් විමසා බැලිය යුතු කාලය එළඹ තිබෙන බව පමණක් පසක් විය. නීල හරිත ආර්‍ථිකයක් වෙත යාමේදී වැඩිම බලපෑම එල්ල වන්නේ සුළු පරිමාණ ධීවර කර්‍මාන්තයේ නිරත වන පවුල්වලටය. ණයට මුදල් ගෙන මුහුදු යන ඇතැම් ධීවරයන්ට අස්වැන්න අඩු වූ දිනවලදී ඉන්ධන හා ආම්පන්න සඳහා ගත් ණය පියවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද අනාවරණය විය. ඇතැමුන් මේ වන විට මුහුදු යන වාර ගණන පවා අඩු කර තිබෙන අතර තවත් පිරිසකට තම බෝට්ටු සහ ධීවර ආම්පන්න පවා අත්හැරීමට සිදුව තිබේ. “මගේ මහත්තයා ඉස්සර ඉඳන්ම කළේ මුහුදු යන රස්සාව. කලින් මහත්තයාටම බෝට්ටුවක් තිබුණා. දැන් වෙන කෙනෙකුගේ එකක යන්නේ දවසෙ කුලියට. ඒකෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසයි මම කරවල වේළලා අලෙවි කරන්න පටන් ගත්තේ. ඒත් දැන් ඒකත් කරන්න බැරි තත්වයකට පත්වෙලා තියෙන්නේ. දැන් එන්න එන්නම වියදම වැඩියි මාළු අඩුයි. මෙහෙම ගියොත් තව අවුරුදු දහයක් විස්සක් යනකොට අපිට යන එනමන් නැතිවෙයි.” යනුවෙන් පවසා නිර්‍මලා මහත්මිය දිගු සුසුමක් හෙළුවාය. මම හිතන්නේ නැහැ සෝලාවලින් ලොකු එන්ජිමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා ටිරෝන් සාගර උෂ්ණත්වය සහ ධීවර කර්‍මාන්තයට එල්ල වන බලපෑම් සාගර ජලයේ උෂ්ණත්වය වෙනස් වීම හමුවේ මත්ස්‍ය විශේෂවල ව්‍යාප්තිය, සංක්‍රමණ රටා සහ අභිජනන ක්‍රියාවලිය වෙනස් වී මෙන්ම බෙංගාල බොක්කෙහි උෂ්ණත්වය ඉහළ යෑම හමුවේ කුඩා ධීවරයන්ට දැඩි තර්‍ජනයක් පවතින බවත් “Disaster Risks and Climate Change in BoB Region” – FAO / BOBP-IGO වාර්‍තාව (2025) හි සඳහන්ව ඇත. විශේෂයෙන්ම වසර 2100 වනවිට සාගර තාප තරංග (Marine Heatwaves) හේතුවෙන් වසරකට දින 250ක් ධීවරයන්ට අහිමිවීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත. ලංකාවේ බහුදින ධීවරයින් 64.7% කියන අන්දමට ටූනා වැනි මසුන් සිය වාසස්ථාන මාරු කොට ඇති බව NARA / IOTC අධ්‍යයනය – GOLT Theory හි සඳහන්ව තිබේ. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමට සාගර උෂ්ණත්වය පමණක් නොව, අධික ලෙස මසුන් ඇල්ලීම, විනාශකාරී ධීවර ක්‍රම සහ වාසස්ථාන විනාශය ද ඊට බලපා ඇති බව කිව යුතුය. ධීවර කර්‍මාන්තය තිරසර මාවතකට යොමු කිරීමට නම් නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම පාලනය කිරීම මෙන්ම කාබන් විමෝචනයද පහත හෙළිය යුතුම ය. ඩීසල් හා භූමිතෙල් මත යැපෙන ධීවර යාත්‍රා සඳහා පරිසර හිතකාමී බලශක්ති විකල්ප හඳුන්වාදීම මේ සඳහා ඇති එකම විසඳුමයි. ධීවර යාත්‍රාවලට අවශ්‍ය වේගය සහ බලය පවත්වා ගන්න පුනර්‍ජනනීය බලශක්තිය යොදා ගැනීම දුෂ්කරයි සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම යුරෝපා සංගමයෙන් තාක්ෂණික අත්වැලක් ශ්‍රී ලංකාවේ ධීවර කර්‍මාන්තය තිරසර මාවතකට යොමු කිරීම සඳහා යුරෝපා සංගමය සෘජුව මැදිහත් නොවුණත් නීති විරෝධී ධීවර කටයුතු මැඬලීම සහ මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි. විශේෂයෙන්ම නීති විරෝධී, වාර්‍තා නොකරන සහ නියාමනය නොකරන ධීවර කටයුතු හෙවත් IUU Fishing පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික දැනුම, පුහුණුව සහ නීතිමය සහාය ලබාදීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ. මීට අමතරව ධීවර කර්‍මාන්තය වෙනුවෙන් නීල ආර්‍ථිකයක් (Blue Economy) හඳුන්වාදී තිබේ. මුහුදෙන් උපයන නමුත් මුහුද විනාශ නොකිරීම එහි අර්‍ථය යි. කරුණු හතරක් යටතේ ක්‍රියාත්මක වන මෙහි අතර පළමු ප්‍රතිපත්තිය වන්නේ පොදු ධීවර ප්‍රතිපත්තියයි. (Common Fisheries Policy – CFP) මේ යටතේ (කෝටා ක්‍රමය) ඇල්ලිය හැකි උපරිම මසුන් ප්‍රමාණය තීරණය කොට එය රටවල් අතර බෙදීම, (Maximum Sustainable Yield) මත්ස්‍ය ගහනය නැවත වර්‍ධනය විය හැකි ආකාරයට පමණක් මත්ස්‍ය අස්වැන්න ලබාගැනීම, නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing ) වැළැක්වීම: නීති නොමැතිව, වාර්‍තා නොකර, නියාමනයක් නොමැති අල්ලන මත්ස්‍ය අස්වනු වෙළඳපොළට ඇතුළත් කර නොගැනීම මෙහිදී මූලික වේ. ඔවුන්ගේ දෙවැනි ප්‍රතිපත්තිය වන්නේ මුදල් ආධාර – EMFAF සැපයීමයි. තෙවැන්න European Ocean Pact සහ Vision 2040යි. Vision 2040 වැඩ සටහන තුළ ඉදිරි අවුරුදු 15ට ධීවරයින්, ජලජීවී වගාකරුවන් සහ වෙරළබඩ ප්‍රජාවන් වෙනුවෙන් ශක්තිමත්, තරගකාරී, තිරසාර නීල ආර්‍ථිකයක් ගොඩනංවන අතරේ 2050 වනවිට ධීවර බෝට්ටු දේශගුණ උදාසීන (Climate Neutral) කිරීමට නියමිතය. සිව්වැන්න වන්නේ ලෝක මට්ටමින් උදව් උපකාර කිරීමයි. යුරෝපා සංගමයේ සහයෝගය ඇතිව මෙරට ධීවර කර්‍මාන්තයේ දිශානතිය වෙනස් කිරීමට සුදුසු කාලය එළඹ ඇත. පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් සූර්‍ය බලයෙන්, සුළං බලයෙන් හෝ හයිඩ්‍රජන් භාවිතයෙන් ධාවනය වන පුනර්‍ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීම ධීවරයන් මෙන්ම අදාළ වගකිවයුතු ආයතනද එකසේ කැප විය යුතුය. නමුත් දැනටමත් ඉන්ධන සහ ආම්පන්න මිල ඉහළ යෑමෙන් පීඩාවට පත්ව සිටින ධීවරයා හරිත තාක්ෂණය කෙසේ වැළඳගන්නේ දැයි සැක සහිතය. මන්ද පුනර්‍ජනනීය බලශක්තියෙන් ධීවරයන්ට ආර්‍ථික වාසියක් සිදුවුණත් ඒ සඳහා වන මූලික පිරිවැය ඉතා ඉහළය. ඒ පිළිබඳ ධීවරයන් සතු දැනුම අල්පය. ඇතැම් ධීවරයන් මේ යම් දැනුවත්භාවයක් ලබා තිබුණත් සමහරුන් මේ පිළිබඳව හාංකවිසියක්වත් නොදනී. ගාල්ල ප්‍රදේශයේ ධීවරයෙකු සහ බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වන අජිත් නිශාන්ත පරිසර හිතකාමී ධීවර කර්‍මාන්තයකට පා තැබීමට සූදානම් ය. නමුත් ඔහුට ඇති ගැටලුව වන්නේ පිරිවැය ය. ඔහු ඒ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි. ධීවර යාත්‍රා ක්‍රමානුකූලව පුනර්‍ජනනීය බලශක්තියට මාරු කළ යුතුයි නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. එම්. එල්. අමරලාල් ධීවරයන් අවිනිශ්චිතතාවයෙන් “ධීවර යාත්‍රා සඳහා තෙල් වෙනුවට සූර්‍යකෝෂ බලයෙන්, සුළං බලයෙන් හා හයිඩ්‍රජන් ධීවර යාත්‍රා සඳහා යොදා ගන්නේ කොහොමද කියන එක මේ වෙනකොට අත්හදා බලමින් ඉන්නවා කියලා ආරංචියි. ප්‍රශ්නෙ තියෙන්නේ ධීවරයෝ මේකට එකඟ කරගන්න එකයි. මොකද මීට කලිනුත් මේ දේවල් වලින් ක්‍රියාත්මක වන ශීතාගාර සහිත යාත්‍රා කිහිපයක් යාත්‍රා කළා. ඒවා එතරම් සාර්‍ථක වුණේ නැහැ. ඒක නිසා ධීවරයන් තුළ මේ කෙරෙහි යම් අවිශ්වාසයක් පවතිනවා. පුනර්‍ජනනීය බලශක්තිය කියන්නේ ඉතාමත් හොඳ දෙයක්. නමුත් තීන්දුවක් ගන්න කලින් හැම දෙයක් ගැනම ආපහු පාරක් හිතලා බලනවා නම් හොඳයි. මොකද ධීවරයන් තාක්ෂණයට කැමතියි. නමුත් කලබලේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒක අසාර්‍ථක වුණොත් ආපහු ඒ තැනට යන්න බැරි බැරිවෙනවා. දැනට මේ කතාව තියෙන්නේ සාකච්ඡා මට්ටමින්. මේක කොතරම් දුරටත් සාර්‍ථකද කියල බලන්න ඕන. මේ සඳහා වන සම්පූර්‍ණ පිරිවැය අපට විතරක් දරන්න බෑ. රජය සහ ධීවරයා අතරේ 50%-50% වන වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි.” හරිත සංක්‍රාන්තියට අනුගත වන්නට අජිත් ඉත සිතින් සැදී පැහැදී සිටින්නෙක් වුවද ඒ සඳහා දැරිය යුතු පිරිවැය දරාගැනීම පිළිබඳවත්, නව තාක්ෂණය පිළිබඳවත් සැක සංකාවක් සිත් කොණක ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය විය. හරිත සංක්‍රාන්තිය පිළිබඳවත්, නීල හරිත ආර්‍ථිකය පිළිබඳවත් ධීවර ප්‍රජාව දැනුවත් වී ඇතත් ඒ කරා යොමු වීමේදී ඇති විය හැකි යැයි ධීවර ප්‍රජාව අනුමාන කරන නොපැහැදිලි කම් දුරුවීමට නම් නුදුරු දිනකදීම නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. නියමු ව්‍යාපෘති පමණක් නොව දැනුවත් කිරීමේ වැඩසටහන්ද තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් හා කළ සාකච්ඡාවේදී තහවුරු විය. මන්ද ඇතැම් ප්‍රදේශවල සිටින ධීවරයන්ට හරිත සංක්‍රාන්තිය පිළිබඳව සුළු හෝ අවබෝධයක් අදාළ ආයතන විසින් ලබා දී නොතිබුණි. එයට උදාහරණ ලෙස මීගමුව ප්‍රදේශය පෙන්වා දිය හැකිය. මීගමුවේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් වන ටිරෝන් දැක්වූ අදහස් අනුව ඔහුට හරිත සංක්‍රාන්තිය පිළිබඳ අවබෝධයක් හෝ පැහැදීමක් නොතිබුණි. “අපිව තවම මේ පිළිබඳව දැනුවත් කරලා නැහැ. අනිත් එක මම හිතන්නේ නැහැ සෝලා සවිකරලා අපේ ලොකු එන්ජිමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. අපේ තියෙන්නේ අශ්ව බල 400-500 එන්ජින්. අනිත් එක තමයි අපි දැනටත් මේ රස්සාව කරන්නේ බොහොම අමාරුවෙන්. ඕවට යන වියදම් අපට දරා ගන්න බැහැ. අපි දැනට දවස් 60-70 ගමන් යන්නේ. ඒවට ඩීසල් ලීටර් 14000-15000 විතර යනවා. අපි කරන්නේ ටූනා මසුන් අල්ලන එක. ඉස්සර නම් ත්‍රිකුණාමලය හරියෙන් ඕන තරම් මාළු අල්ල ගන්න පුළුවන්. ඒත් දැන් මාළු අස්වැන්න සෑහෙන්න අඩුවෙලා. අනවසර පන්න ක්‍රම නිසා කුඩා මාළුවාගේ ඉඳන්ම අහුවෙනවා. සමහර රටවල් එක කාලයක් විතරයි මාළු අල්ලන්නේ අනිත් කාලෙට ධීවරයන්ට රජය මගින් යම් දීමනාවක් ලබා දෙනවා. එහෙම වැඩපිළිවෙළකට යනවා නම් හොඳයි.” තව අවුරුදු දහයක් විස්සක් යනකොට අපිට යන එනමන් නැතිවෙයි නිර්‍මලා පෙරේරා ධීවරයා සාම්ප්‍රදායික ක්‍රම වලින් ඈත්වීම හරිත සංක්‍රාන්තිය පිළිබඳවත්, නීල හරිත ආර්‍ථිකය පිළිබඳවත් මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කර නොමැති බවට ධීවර සමිතියක නායකයකු වන ජෝසප් පීටර් ප්‍රනාන්දු ද තහවුරු කළේය. ඔහු පවසන්නේ මෙතෙක් මීගමුව ප්‍රදේශයේ කිසිදු ධීවරයකුට පුනර්‍ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යා යුතු බවට දැනුවත් කොට නොමැති බවය. “මේ ගැන අපිව තවම දැනුවත් කරලා නැහැ. අනික මේ ක්‍රමවලින් වෙන්නේ ධීවරයා සාම්ප්‍රදායික ධීවර ක්‍රම වලින් ඈත්වීම. දැනටත් මේ ආම්පන්න නඩත්තු කරන්නේ බොහොම අමාරුවෙන් එහෙම එකේ අලුත් නීති රීති පැනෙව්වහම ධීවරයට මොකද වෙන්නේ” ඔහු ප්‍රශ්න කළේය. ධීවර ක්‍ෂේත්‍රයේ සිදුවන මේ සංක්‍රාන්තිය සාධාරණ අයුරින් සිදුවීමට නම් නිසි මග පෙන්වීමක් හා කිසිවකුටත් අසාධාරණයක් නොවිය යුතුය. ඔවුන් කාබන් විමෝචනය බහුල ඩීසල් සහ භූමිතෙල් එන්ජින්වලින් ඉවත් වී පරිසර හිතකාමී විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යෑමට සූදානම්‍ය. නමුත් මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මේ සඳහා සූදානම්දැයි සැක සහිතය. ධීවර කර්‍මාන්තයට අවශ්‍ය නව නිපැයුම් සඳහා පර්‍යේෂණ සිදුකරන ප්‍රධානතම ආයතනය නාරා ආයතනයයි. එහි අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. එම්. එල්. අමරලාල් පවසන්නේ ධීවර කර්‍මාන්තය සම්පූර්‍ණයෙන්ම පුනර්‍ජනනීය බලශක්තිය මත පදනම්ව ගොඩනැගිය නොහැකි බවයි. “අපි දැනටමත් නිර්‍දේශ කරලා තියෙනවා පුනර්‍ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වෙන්න කියලා. මේ වෙනකොට කුඩා යාත්‍රා 42,000ක ප්‍රමාණයක් වගේම බහු දින ධීවර යාත්‍රා 5000ක වගේ ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල ධාවනය කරන්නේ ඩීසල් සහ භූමි තෙල් වලින්. අපේ රටේ ධීවර කර්‍මාන්තය සඳහා වැයවන ඉන්ධන වියදම වැඩියි. මේවා ක්‍රමානුකූලව පුනර්‍ජනනීය බලශක්තියට මාරු කළ යුතුයි. නමුත් සම්පූර්‍ණයෙන්ම පුනර්‍ජනනීය බලශක්තියට යන්න අමාරුයි. කොටසක් පුනර්‍ජනනීය බලශක්තියෙන් ලබාගන්නා අතරේ අනිත් කොටස පොසිල ඉන්ධන වලින් ලබාගන්න වෙනවා. ඒ ආකාරයෙන් හෝ කාබන් විමෝචනය අවම කළ යුතුයි. අපි කරන්නෙ පර්‍යේෂණ ක්ෂේත්‍රවල කටයුතු. කාබන් විමෝචනය හා සම්බන්ධ බෝට්ටු වෙනස් කිරීම් ධීවර දෙපාර්‍තමේන්තුව සතු වගකීමක්. මේකට අවශ්‍ය සැලසුම සකස් කරන්නේ ඔවුන්. වඩාත් සුදුසු වන්නේ මේ සඳහා අවශ්‍ය තොරතුරු ධීවර දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැන ගැනීමයි.” යනුවෙන් අධ්‍යක්ෂක ජනරාල් පැවසීය. මේ ගැන අපිව තවම දැනුවත් කරලා නැහැ ජෝසප් පීටර් ප්‍රනාන්දු ප්‍රතිචාරයක් නැති ධීවර දෙපාර්‍තමේන්තුව ධීවර කර්‍මාන්තය පුනර්‍ජනනීය බලශක්තිය වෙත පරිවර්‍තනය කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නේ ධීවර අමාත්‍යාංශය වෙතය. අප මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හෝ බලයලත් නිලධාරියෙකුගෙන් කරුණු දැනගැනීමට එම දෙපාර්‍තමේන්තුවේ දුරකථන අංක දෙක වෙත කොතරම් ඇමතුම් ලබාගත්තත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. අවසානයේ ධිවර දෙපාර්‍තමේනතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික දුරකථන අංකය සොයාගෙන ඒ වෙත ඇමතුම් ලබාගත්තත් එක් අවස්ථාවක පසුව පිළිතුරු සපයන්නම් යැයි පැවසුවත් ඉන්පසු කිසිම අවස්ථාවක ධීවර දෙපාර්‍තමේන්තුව වෙතින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.” ධීවර දෙපාර්‍තමේන්තුව ප්‍රතිචාර නොදැක්වුවද රජයට සම්බන්ධ බෝට්ටු නිෂ්පාදන ආයතනයක් වන සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම පවසන්නේ මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම තරමක් අපහසු කාරණයක් බවය. “දැනට තිබෙන තත්ත්වය අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය වේගය සහ බලය පවත්වා ගැනීමට පුනර්‍ජනනීය බලශක්තිය යොදා ගැනීම තරමක් දුෂ්කරයි. අපි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදෙස් රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට තිබෙනවා මෙම ව්‍යාපෘතිය කොහොමද කරන්නේ කියලා. අපි සියලු දෙනාම මෙය ක්‍රියාවට නැංවිය යුතුයි කියන ස්ථාවරයේ සිටිනවා. මේ ක්‍රමවේදයට යන ධීවරයන්ට ඉදිරියේදී යම් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ක්‍රමවේදයට ධීවරයන් අකැමැත්ත ප්‍රකාශ කොට තිබෙන්නේ බැටරිය විශාලත්වයෙන් වැඩිවීම සහ බරෙන් වැඩිවීම නිසයි. ලොකු යාත්‍රාවක් මේ අනුව සකස් කළහොත් ටොන් ගාණක් බර වෙනවා.” සභාපතිවරයා කියන කාරණය ඇත්තකි. නමුත් තවදුරටත් වියදම් අධික, පරිසරයට විණ කරන පොසිල ඉන්ධන භාවිතයෙන් මෙන්ම තහනම් ආම්පන්න භාවිතයෙන් සිදුකරන ධීවර කර්‍මාන්තයෙන් මිදී යුරෝපා සංගමයේ තාක්ෂණික සහ උපදේශන සහයෝගය ඇතිව ඉහත කී ගැටළු නිරාකරණය කරගනිමින් නීල හරිත ආර්‍ථිකට මාරුවිය යුතු කාලය එළඹ තිබේ. සමීර කන්නන්ගර
99mobile