
උද්ධමනය වැඩිවීමෙන්තවත් වැඩිවෙන පොදුජන දුක…
FM Heart · 9 min read
මහ බැංකු පොලිය ඉහළට… පසුගිය නොවැම්බර් 19 දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් එනම් සියයට 9.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. එසේම 2026 දෙසැම්බර් 09 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගැනීමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ප්‍රතිශතාංක 1 කින්, සියයට 3.00 දක්වා ඉහළ නැංවීමට ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. මේ බව ඊට පසුදින (20) මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් ප්‍රතිපත්ති විවරණය වාර්තාව මගින් සහ මාධ්‍ය හමුව මගින් ප්‍රකාශයට පත් කරන ලදී. වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණයට එළැඹ ඇත. මේ අනුව මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ පොලී අනුපාත වැඩි කිරීමේ මෙම තීරණය සහ එහි ආර්ථික බලපෑම් පිළිබඳවයි. මහ බැංකුවේ මෙම නවතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ මෙසේ දැක්වේ. ‘The ongoing conflict in the Middle East has lasted longer than expected. Elevated global energy prices together with rising food prices have continued to fuel inflati|nary pressures domestically, causing inflati|n to increase to 8.3% in October 2026.’ මෙහි අදහස මෙසේ සඳහන් කළ හැකිය. ‘මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් මුළුල්ලේ පවතී. ඉහළ ගිය ගෝලීය බලශක්ති මිල ගණන් සමග ඉහළ යමින් පවතින ආහාර මිල ගණන් හේතුවෙන් දේශීය ආර්ථිකය තුළ උද්ධමනකාරී පීඩනයන් උත්සන්න වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 8.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.’ මෙහි සඳහන් වන ලෙස මහ බැංකුවේ සියයට 5 ක ඉලක්කය ඉක්මවා සියයට 8.3 ක් දක්වා මේ වන විට උද්ධමනය ඉහළ ගොස් ඇත. මැදපෙරදිග පවතින ගැටුම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් පැවතීම සහ ලෝක බලශක්ති මිල ගණන් හා ඉහළ ගිය ආහාර මිල ගණන් මෙසේ දේශීය වශයෙන් උද්ධමන පීඩනයන් තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී ඇති බව මෙයින් කියයි. ඉහළ ගිය බලශක්ති සහ ආහාර මිල ගණන්වල වක්‍ර බලපෑම් හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇත. මෑත කාලීනව ගෝලීය බලශක්ති මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇතත්, බලශක්ති මිල ගණන්වල මීට පෙර සිදු වූ ඉහළ යෑම් මගින් ඇති කෙරෙන දෙවන වටයේ බලපෑම් හේතුවෙන් නුදුරු කාලීනව මිල මට්ටම් මත පීඩනයන් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව, උද්ධමනය, නුදුරු කාලීනව පෙර පුරෝකථනය කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකිය. එසේම සියයට 5 ක ඉලක්කගත මට්ටම කරා නැවත උද්ධමන ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන්නේ ලබන වසරේ (2027) දෙවන භාගයේ දීය. මේ අනුව පැහැදිලි වන්නේ, මැදිකාලීන උද්ධමන අපේක්ෂාවන්, උද්ධමන ඉලක්කය වටා ස්ථාවරව පවතින නමුත්, විශේෂයෙන් ඉදිරි වසරක කාලය සඳහා වන උද්ධමන අපේක්ෂාවන් මෑතකාලීනව ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි. මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ ද ලබන මාසයේදී උද්ධමනය සියයට 9 ක් හෝ ඊට ඉහළ ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි. මේ අනුව මූලික වශයෙන්ම මහ බැංකුව මේ තීරණ (ක්‍රියාමාර්ගය) ගෙන ඇත්තේ, සැලකිය යුතු ලෙස ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීම සහ ඉහළ යන උද්ධමන අපේක්ෂාවන් ස්ථාවරව තබා ගැනීම අරමුණු කරගෙනය. මෙම ක්‍රියාමාර්ගයේ ආර්ථික බලපෑම් පිළිබඳව අපට මෙසේ සාකච්ඡා කළ හැකිය. උද්ධමන අපේක්ෂාවන් පාලනය මැදපෙරදිග ගැටුම්, බලශක්ති හා ආහාර මිල ඉහළ යෑම් සහ ඒවායේ දෙවන වටයේ බලපෑම් හේතුවෙන් නුදුරු කාලීනව උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකිය. පොලී අනුපාතික ඉහළ නැංවීමෙන් මේ උද්ධමන අපේක්ෂාවන් සියයට 5 ක ඉලක්කයෙන් ගිලිහී යෑමේ අවදානම අවම කර, ලබන වසරේ (2027) දෙවන මාස හයේදී උද්ධමනය ඉලක්කගත මට්ටම වෙත නැවත ගෙන ඒමට සහාය වේ. වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම මහ බැංකුවේ අනුපාතිකය ඉහළ යෑමත් සමග, එයට අනුරූපව වාණිජ බැංකුවල ණය සහ තැන්පතු පොලී අනුපාතික මත ඉහළට යන පීඩනයක් ඇති විය හැක. මේ නිසා ණය පිරිවැය ඉහළ යෑම නිසා ණය ප්‍රසාරණය මන්දගාමී වීමට බලපෑමක් ඇති වේ. එනම් ඉහළ ණය පොලී අනුපාතික හේතුවෙන් පෞද්ගලික අංශයට ලබා දෙන ණය වර්ධනය තවදුරටත් මන්දගාමී වනු ඇති බවයි. මේ වසරේ (2026) ඔක්තෝබර් මස අවසානය වනවිට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ ගියේය. ඒ සඳහා මහ බැංකුව විසින් අඛණ්ඩව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන්, විදේශ විනිමය ශුද්ධ පදනම මත මිලදී ගැනීම හේතුවිය. මෙසේ විශේෂයෙන්ම, මහ බැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීම් හරහා ඇති වූ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ඉහළ නැංවීමෙන් උරා ගැනීමට අපේක්ෂා කෙරේ. එමඟින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ, ණය වර්ධනය මන්දගාමී වීමේ ක්‍රියාවලියට එල්ල විය හැකි බාධා අවම කිරීමයි. පාරිභෝගිකයින්ට වන බලපෑම ණය පොලිය වැඩිවීමෙන් මූලික වශයෙන්ම පාරිභෝගිකයින්ට වන බලපෑම නම් ණය පිරිවැය (පොලී වියදම්) වැඩි වීමයි. එනම් ණය පහසුකම් (පුද්ගලික ණය සහ ක්‍රෙඩිට් කාඩ් ආදිය) ලබා ගැනීමේ පිරිවැය ඉහළ යා හැකි අතර, ඇතැම් විට තැන්පතු පොලී අනුපාතිකවලින් යම් (සාපේක්ෂව අඩු) ප්‍රතිලාභයක් ලැබීමට ඉඩ ඇත. මේ අතරම උද්ධමනය පාලනය වීම මඟින් ජීවන වියදම තවදුරටත් අසීමිත ලෙස ඉහළ යෑම යම් මට්ටමකට පාලනය වීමේ ඉඩකඩක් පවතී. එමගින් ද දිගුකාලීනව පාරිභෝගිකයින්ට යම් සහනයක් ඇති විය හැකිය. ව්‍යාපාරවලට වන බලපෑම ව්‍යාපාර ණය පිරිවැය ඉහළ යෑම නිසා ඔවුන්ට අවාසිදායක තත්ත්වයක් උද්ගත වේ. එය සිදු වන්නේ, කාරක ප්රාග්ධනය සහ ආයෝජන සඳහා ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළ යෑම නිසාය. නව ව්‍යාපාරික කටයුතුවලට ආයෝජනය කිරීම සීමා වේ. මේ තත්ත්වය පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ද අහිතකර බලපෑම් ඇති කරයි. එය ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතුවකි. දැනටම රටේ පවතින්නේ මන්දගාමී ආර්ථික වර්ධනයකි. ගිය වසරේ (2025) සියයට 5 ක ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.2 ක් දක්වා පසුබෑමට ලක් වෙනු ඇති අපේක්ෂා කෙරේ. මේ නිසා පවතින මන්දගාමී ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමේ අවශ්‍යතාවක් ද පවතී. මේ හේතුවෙන් මැදිකාලීනව ආර්ථිකයට එහි විභව මට්ටමට ළඟා වීමට සහාය වෙමින් උද්ධමනය ස්ථාවර කිරීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම ආර්ථික බලධාරීන්ගේ අරමුණ වී ඇත. එසේම අනිත් අතට පොලී වියදම් වැඩි වීම නිසා පරිභෝජන වියදම් යම් මට්ටමකට සීමා වීමට ඉඩක් ද ඇත. විදේශ සංචිත වර්ධනය කර ගැනීම 2026 ඔක්තෝබර් අවසන් වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිව ඇති අතර රුපියල සාපේක්ෂව ඉහළ අගයක ස්ථාවරව පවතී. මෙසේ නිල සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව විසින් සිදුකරන්නේ, දේශීය වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීමයි. මේ හරහා දේශීය මුදල් වෙළඳපොළ රුපියල් ද්‍රවශීලතාව සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. මේ හේතුවෙන්, ඉදිරි කාලයේ දී ණය වර්ධනයේ අපේක්ෂිත අඩුවීම කිසියම් දුරකට මන්දගාමී විය හැකිය. එයට කිසියම් පිළියමක් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වැඩි කිරීමෙන් ලැබෙනු ඇත. මහ බැංකුවේ මෙම උද්ධමනය මර්දනය කිරීමේ ප්‍රතිපත්තිමය පියවර හරහා දේශීය මිල ස්ථායීතාව සහ රජය විසින් මූල්‍ය විනය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග මඟින් විදේශීය අංශයේ ස්ථාවරත්වය සහ ආයෝජක විශ්වාසය යම් මට්ටමකට ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පිළිවෙතකට අවතීරණ වී ඇත. මේ අනුව 2026 වසරේ මැයි මාසයේ දී ද පොලී අනුපාත වැඩි කරමින් සිදු කළ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට සමගාමීව වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනයේ වේගය අඛණ්ඩව මන්දගාමී වී ඇත. එහෙත් එය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව මහ බැංකුව කියයි. මහජනයාගේ ඔරොත්තු දීමේ හැකියාව ගෝලීය ආර්ථිකයේ තවදුරටත් පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ වුව ද, ආර්ථිකයේ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණ බව මහ බැංකුව කියයි. එහෙත් මහජනතාවගේ පැත්තෙන් නම් ඔවුන් මුහුණ දෙන ආර්ථික පීඩනය සහ ජීවන වියදම් අර්බුදය දිනෙන් දින ඉහළ ගොස් ඇත. පසුගිය දා ඉදිරිපත් කළ ලබන වසර (2027) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනයෙන් ද මේ ජනදුක සමනය කිරීමට මුදල් ඇමැති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමාණවත් පියවර ගත්තේ නැත. මේ ගැන පොදුජනයාගේ බලවත් අසතුට ද මේ වන විටත් පළව ඇත. එසේම වෘත්තිකයින් ද ඉහළ උපයන විට ගෙවීම් බදු හරහා බලවත් පීඩනයකට මුහුණ දී සිටී. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව කතා කරන ආර්ථික ස්ථායිකරණය ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගවලින් වඩාත්ම පීඩාවට (වේදනාවට) පත් වූයේ මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා මෙවර අයවැයෙන් හෝ පොදුවේ එකතු කළ වටිනාකම් බද්ද ඇතුළු පොදු ජනයාගේ වක්‍ර බදු බර අඩු කරනු ඇතැයි අපේක්ෂා කළත් ඒ වෙනුවට සිදු වූයේ හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වල පමණක් බදු අඩු කිරීමයි. මේ නිසා ජනතාවගේ ආර්ථික පීඩනය දැරීමට අපහසු මට්ටමක් දක්වා මේ වන විට වර්ධනය වී ඇති බව ආණ්ඩුවේ අය තේරුම් ගැනීම වැදගත් වේ. උද්ධමනය තවත් ඉහළට මහ බැංකුව කියන දේ අනුව අපට පැහැදිලි වන්නේ උද්ධමනය දැනට තිබෙන සියයට 8.3 ද පසුකර තවත් ඉහළට යෑමේ හැකියාවක් ඇති බවයි. මහ බැංකුව කියන මේ දෙයින් පැහැදිලි වන්නේ එයයි. ‘නුදුරු කාලීනව උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කයෙන් විතැන් වීමේ අවදානම අවම කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීම සුදුසු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය මගින් දේශීය මිල ස්ථායීතාව පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඇති කැපවීම පෙන්නුම් කරයි.’ දේශීය හා ගෝලීය වශයෙන් ලැබෙන දත්ත සහ මතුවන අවදානම් පිළිබඳව මහ බැංකුව ඉතා සැලකිල්ලෙන් තක්සේරු කරනු ඇති අතර, මැදිකාලීනව ආර්ථිකයට එහි විභව මට්ටමට ළඟා වීමට සහාය වෙමින් උද්ධමනය ඉලක්කගත මට්ටම වටා ස්ථාවර කිරීම සහතික කිරීම සඳහා සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව ද මහ බැංකුව ප්‍රකාශ කර සිටී. එහෙත් මෙසේ උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටම වටා ස්ථායි වීම යනු මිල මට්ටම්වල අඩු වීමක් නොව තවදුරටත් මිල මට්ටම සියයට 5 ක හෝ ඊට වඩා තරමක් ඉහළ වේගයකින් වැඩිවෙමින් තිබෙන බවයි. මේ නිසා අමාරුවෙන්, ආර්ථික පීඩනයෙන් ජීවත් වෙමින් සිටින ජනතාවට අපට කීමට සිදු වන්නේ ඔබ මුහුණ දෙමින් සිටින ජීවන වියදම් අර්බුදය ඉදිරි කාලයේ තවත් වැඩිවෙනු ඇති බවයි. ඒ නිසා මෙම පොලී අනුපාතික ඉහළ නැංවීම ඔබේ ව්‍යාපාරික හෝ පෞද්ගලික මූල්‍ය සැලසුම්වලට කෙසේ බලපානු ඇද්ද යන සලකමින් ඉදිරි කටයුතු සිදු කිරීමට ව්‍යාපාර අංශවලට සහ පොදුජනයාට සිදු වනු ඇත. උද්ධමනය තවත් ඉහළ යෑම හමුවේ පොදු මිල මට්ටම් තවත් වැඩිවීම සිදුවෙන නිසා සාමාන්‍ය ජනයාට සිදු වන්නේ තවත් පටි තද කර ගැනීමටය. එසේ කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ පිළිබඳ සුබ සිහින මැවීමට ද බැරිකමක් නැත. ශ්‍යාම් නුවන් ගනේවත්ත shyam.divaina@gmail.com

