FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇබර්‍ඩීන් ඇල්ලේ පාදාන්තයේ සිට ඉහත්තාවට…මීදුම් පටලයේ පැටලී සොබා රස වින්දෙමි

FM Heart · 5 min read

The Heart Academy
කිතුල්ගල-කළුගල හන්දියෙන් ඇබර්‍ඩීන් ඔස්සේ නොර්‍ටන්බ්‍රිජ් දක්වා ගමන් ගත් අපි, එතැන් සිට ලක්ෂපාන දක්වාත්, ගිනිගත්හේන දක්වා වැටී ඇති මාර්‍ගයේත් ගමන් කරමින් ලැබූ සුන්දර අත්දැකීම් පිළිබඳව පසුගිය සතියේ කතා කළෙමු. එසේම, ලක්ෂපාන දක්වා ශ්‍රීපාද මාර්‍ගයේ ගමන් ගත් අප, මනරම් සප්තකන්‍යා කඳුවැටිය, ලක්ෂපාන දිය ඇල්ල ඇතුළු හාත්පස සුන්දරත්වය අත්විඳි අයුරු ද කීවෙමු. අනතුරුව සවස් යාමයේ අප ළඟා වූයේ යළිත් ඇබර්‍ඩීන් ගම්මානය වෙත ය. එනම් උදේ ගමන් ගත් මාර්‍ගයේම යළිත් කිතුල්ගල දෙසට පල්ලම බැස්ස අතර, එදින අපගේ නවාතැන වූයේ ඇබර්‍ඩීන් ගම්මානයේ, එනම් ඇබර්‍ඩීන් දිය ඇල්ල පිහිටි ගම්මානයේ අතිශය සොඳුරු Mystic Falls Bungalow නවාතැනයි. කාලයක පටන් අපගේ හිතවත් සොයුරකු වන, එසේම ඇබර්‍ඩීන් දිය ඇල්ල එක් එක් වකවානුවලදී කුඩා විදුලි බලාගාර ඉදිකිරීම ඇතුළුව විවිධ අන්තරායන්ට ලක්වන විට, ‘ඇබර්‍ඩීන් සුරැකීමේ සංවිධානය’ ඇතුළු පාරිසරික ක්‍රියාකාරකම් රැසක නිරතවෙමින්, ඇබර්‍ඩීන් ගම්මානයට යම් ආදායමක් ගෙන එන්නට කටයුතු කළ තරුණයකු වන අතුල රංජිත් කුමාර, විටෙක දේශපාලකයින් සමග නඩු හබවලට පවා පැටලෙමින් ගම්මානයට නැතුවම බැරි චරිතයක් බවට පත්වූ අයෙකි. ඔහුගේ සහ වන සංරක්ෂණ දෙපාර්‍තමේන්තුවේ වන පාලකවරයකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින නිමල්….. අයියා සමග අප සියල්ලෝම කලක් ඇබර්‍ඩීන් දිය ඇල්ල බේරාගැනීමට අපමණ වෙහෙසක් දැරූහ. ඒ ව්‍යායාමය සාර්‍ථක වූ බවද මෙහි ලියාතැබීම වටී. අදටත් සුන්දරව ඇබර්‍ඩීන් ගලාබසින්නේ ඒ ව්‍යායාමයේ ප්‍රතිඵල නිසා ය. Mystic Falls Bungalow නවාතැන සවස් යාමයේ හීනි වැසි පොද සහ මන්දාරම අතරින් ඇබර්‍ඩීන් ගම්මානයට පැමිණි අප, ඇබර්‍ඩීන් දිය ඇල්ලට බසින ස්ථානයට නුදුරු අතුලගේ Mystic Falls Bungalow නවාතැනට සේන්දු වුණේ එදින රාත්‍රිය පහන් කිරීම සඳහා එම සොඳුරු ස්ථානය තෝරාගෙන සිටි නිසා ය. කොටින්ම අතුල අප වෙනුවෙන්ම එම ස්ථානය වෙන් කර තිබිණි. අතුල තම සිහින මාලිගය ලෙස මෙම බංගලාව හැදුවේ තම නිවස ලෙසින් බව මා දනිමි. තමන් විසින්ම තෝරාගෙන කරන ලද සුළු, සුළු ව්‍යාපාර, ගෙවත්තෙන් ලැබෙන කුළුබඩු ආදායම යනාදියෙන් ඔහු වියදම් කර මෙන්ම, ඉතා හොඳින් සැලසුම් කර අගනා නිවාසයක් හැදුවේ ය. සැබැවින්ම එය සොදුරු නිකේතනයකි. ඔහුගේ ඒ නිවස අවසානයේ සංචාරක නිවහනක් ලෙස නොහොත් සංචාරක බංගලාවක් ලෙස සංචාරක කර්‍මාන්තයට යොදා ගත්තේ අපගේද බලකිරීම මත ය. මන්ද, ලෝප්‍රකට ඇබර්‍ඩීන් දිය ඇල්ල නැරඹීමට සහ එහි පහස විඳීමට එන දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් අඩුවක් නැත. එසේ පැමිණෙන අයට වෙනසකට මෙන් දිනක් දෙකක් ගතකරන්නට හෝ ආහාර ටිකක් ගන්නට තැනක් ඇබර්‍ඩීන් ගම්මානයේ නැත. එහි අඩුව පුරවන්නට අතුලගේ Mystic Falls Bungalow නවාතැනට පුළුවන් බව අපද පුන පුනා කීවේ ය. එනිසාම වන්නට අද මෙම අලංකාර, වටිනා නිවස සංචාරක ඉල්ලුම අනුව සංචාරක නවාතැනක් කරන්නට අතුල පියවර ගෙන ඇත. ඇල්ලට බසින මාර්‍ගය / ඇල්ලේ ඉහත්තාව මෙම සොඳුරු ‘සංචාරේ’ ගමනාන්තයේ අපට නවාතැන වූයේද ඒ සොඳුරු නවතැනයි. රැය පහන් වන තුරු ගෙවුණු වෙහෙස බර රාත්‍රිය අප ගෙවා දැම්මේ මෙහිදී ය. උදාවූ දෙවැනි දවස අප යොදා ගත්තේ ඇබර්‍ඩීන් ඇල්ලේ සුන්දරත්වය පහළ සිට, එනම් පාමුල සිට විඳීම සඳහා ය. පෙරදා ගිනිගත්හේන-ශ්‍රීපාද මාර්‍ගයට ඈතින් දර්‍ශනය වූ ඇබර්‍ඩීන් ඇල්ල අද පාමුල සිට දැකීමටත්, පැන් පහස වීඳීමටත්, ඇබර්‍ඩීන් පොකුණේ දිය කෙළියේ යෙදීමටත් අද අපට අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා සියලු පහසුකම් අපට ලබාදුන්නේ අතුල මල්ලී ය. ඒ අනුව උදා ආහාරයෙන් පසු දීර්‍ඝ දිය කෙළියක් සඳහා, අතුලගේ නවාතැන අසලින්ම අපි ඇබර්‍ඩීන් පාදාන්තය නොහොත්, ඇබර්‍ඩීන් නැරඹුම් වේදිකාව සහ දිය පොකුණ බලා තද බෑවුම් පඩි පෙළ දිගේ පල්ලම් බැස්සෙමු. මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය මත අධික දිය දහරාවක් රැගෙන බසින ඇබර්‍ඩීන් දිය ඇල්ල මස්කෙළිය කෙහෙල්ගමු ඔයට අයත් වන්නකි. කඳුකරයට තදින් වසින කල සක්‍රීය වන මෙම දිය දහරා නිසා ප්‍රදේශයේ දිය ඇලි සමස්තයම පාහේ ක්‍රියාශීලී වී උඩරට නොහොත් කඳුකරයම අලංකාර කරවයි. මේ බොහෝ දිය ඇලිවල පෝෂණ ප්‍රදේශවලට, නැතහොත් දිය ඇලි ඉහත්තාවට යන්නට ඇතැමුන්ට අවස්ථාව හිමිවන්නේ නැත. මන්ද එය වෙනම ගම්මානයක් වන නිසා ය. එනමුත්, අපගේ ‘සංචාරේ’ චාරිකාවලදී අප බොහෝ විට මෙම ඉහත්තාවන් ද බලන්නට යන අතර, මෙවර සංචාරයේදී ඇබර්‍ඩීන් ඇල්ලේ පාදාන්තය පමණක් නොව, එම ඉහත්තාව ද දැකගැනීම අපේ අපේක්ෂාව වෙයි. කූඩැල්ලන් ගැවසෙන, තෙත් වන වදුල අතරින් වැටී ඇති පටු බෑවුම් පඩිපෙළ දිගේ පහළට බැස ගිය විට ඇබර්‍ඩීන් දිය ඇල්ලේ නැරඹුම් වේදිකාව මතට ගිය හැකිය. එතැන් සිට ඊගහක් මෙන් ලම්භකව (සිරස්ව) ගලාහැලෙන ඇබර්‍ඩීන් සුකොමළිය අපට දැක බලාගත හැකිය. මේ දිනවල මෙම ඇල්ලේ දිය දහරාවේ ප්‍රබලත්වය කොතෙක්ද යත්, නැරඹුම් වේදිකාවද ඇල්ලේ පින්නෙන් තෙමෙන අතර, හාත්පස මීදුම් වලාවක් සේ මෙම පින්න පැතිර යනු පෙනේ. අප නැරඹුම් වේදිකාවට ගොඩ වැදුනේ මෙවන් පසුබිමක ය. එතැන් සිට හිතේ හැටියට ඇල්ලේ පහස විඳගත් අපි අනතුරුව, එතැන් සිට ඇල්ල කඩා හැලෙන පහළ දිය පොකුණ වෙත ගියේ හිතේ හැටියට පැන් පහස විඳගැනීමට මෙන්ම, අතුල මල්ලී විසින් මෙහි පවත්වාගෙන යනු ලබන ‘හුළං බෝට්ටු’ (රාෆ්ටින් බෝට්ටු) වල නැගී ඇල්ලේ දිය කඩා හැළීමට තෙමි තෙමී කුඩා පොකුණේ දිය කෙළීම සඳහා ය. එසේ දිය කෙළියට එක්වූ අපි හිතේ හැටියට ඇබර්‍ඩීන් ඇල්ල විඳගත් අතර, අවම වශයෙන් හෝරා තුනක්වත් එහි ගත කළේ මේ ආ ‘සංචාරේ’ අඩු නැතිව විඳගනිමින් ඒ අත්දැකීම ඔබටත් ලබාදෙනු සඳහා ය. එසේ ලැබූ වින්දනය කිසිදා අමතක කළ නොහැකි අතර, එහි යන කාහටත් එම සුන්දර අත්දැකීම ලබාගත හැකි බවද සිහිපත් කරනු කැමැත්තෙමු. එහෙත්, මෙවැනි ස්ථාන වෙත පැමිණෙන ඔබ පොලිතීන්-ප්ලාස්ටික් රැගෙන විත් මෙම ස්ථාන අපිරිසිදු නොකරන ලෙසත්, මහා හඬින් විද්‍යුත් සංගීත භාවිත කරමින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අනෙකුත් අය අපහසුතාවට පත් නොකරන ලෙසත් ඉල්ලා සිටින්නට කැමතිය. අපගේ ‘සංචාරේ’ තේමාව වන්නේ පියසටහනක්වත් නොතියා පරිසරය විඳින්නට යැයි කියන ආයාචනය වන අතර, එසේ ඇබර්‍ඩීන් ඇල්ල විඳ ගත් අපි සවස් යාමයේ නැවත අතුලගේ Mystic Falls Bungalow නවාතැන බලා ගියේ තවත් දිනක එම ගමේම ඇති ඇබර්‍ඩීන් ඉහත්තාව බලන්නට යෑමේ අදහස දරාගෙන ය. ඇබර්‍ඩීන් ඇල්ලේ පාදාන්තය සැරිසර – ජගත් කණහැරආරච්චි ඡායාරූප – සංචාර අනුග්‍රහය Heritage Lanka Holidays
99mobile