
සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්
FM Heart · 2 min read
2027 අයවැය මගින් සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන් එම කර්මාන්තයේ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති. සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමෙන් අහිමි වන බදු ආදායම උපයා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ගැන තවමත් පැහැදිලි බවක් නැති බව ද සංචාරක ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීමට සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව කීවත් එතෙක් ඒ සඳහා මුදල් සැපයීමට සිදුවනු ඇත්තේ භාණ්ඩාගාරයෙන් බවට ද ඔවුහු කියා සිටිති. එහෙත් භාණ්ඩාගාරයෙන් සංචාරක සංවර්ධනයට හා ප්‍රවර්ධනයට මුදල් ගැනීමේ දී ප්‍රායෝගිකව එය කෙතරම් පහසුවෙන් හා වේගවත්ව සිදුවේද යන්න ගැන ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ ඒ සඳහා කවර ප්රමුඛත්වයක් හිමිවේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත. ඒ නිසා මේ අයවැය යෝජනාව ගැන අසතුට පළ කරන සංචාරක කර්මාන්තයේ බොහෝ පාර්ශ්වයන් පවසන්නේ මේ නිසා විශාල විභවයක් ඇති මේ කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් ඉදිරි සතියේ දී සංචාරක කර්මාන්තයේ සංගම් එකතු වී මෙහි බලපෑම ගැන සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි. මේ ගැන විධිමත් ලෙස සාකච්ඡා කර තම සංගම්වල මතය එක මතයක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද සංචාරක සංගම් කිහිපයකම නියෝජිතයෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසූහ. මේ හරහා රජයේ සංචාරක ආයතන තවත් රජයේ ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් බවට පත්ව භාණ්ඩාගාරයේ මුදලින් යැපෙන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට සහ එසේම දැනට මහජනයාට බදු බරක් නැතිව සංචාරක ආයතනවල පිරිවැටුම මත අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමෙන්, මහජනයා මත අලුතින් යම් අතිරේක බරක් පැටවීමට ඉඩ ඇති බව ද ඔවුහු ප්‍රකාශ කරති. ශ්‍යාම් නුවන් ගනේවත්ත

