
සම්මානවල ධනාත්මක වගේම සෘණාත්මක පැත්තකුත් තියෙනවා – සත්‍යපාල ගල්කැටිය
FM Heart · 11 min read
දීර්ඝ කාලයක් පුරා නිදහස් මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් හා සඟරාවලට නාට්‍ය හා සාහිත්‍ය කලාව පිළිබඳ විචාර ලිපි සපයන අතරම ස්වතන්ත්‍ර කෙටිකතා, නවකතා හා පරිවර්තන සාහිත්‍යයට සැලකිය යුතු දායකත්වයක් සපයමින් සිටින රාජ්‍ය සම්මානලාභී ලේඛකයකු වන සත්‍යපාල ගල්කැටිය විසින් රචනා කරන ලද ‘වැවෙන් උපන් දියකිඳුරිය’ නවතම කෙටිකතා සංග්‍රහය ග්‍රැෆිකෙයා ප්රකාශනයක් ලෙස මේ වනවිට නිකුත් වී තිබේ. මෙයට පෙර පළ වූ ඔහුගේ ‘ඕලු විල කැලඹිලා’, ‘මල් කුමාරයා සහ සමන්මලී’, සහ ‘අරණ තුළ අරම’ ඇතුළු කෙටිකතා කෘතීන් ඉහළ පාඨක විචාරක අවධානයට පාත්‍ර වූ අතර, ‘අරණ තුළ අරම’ 2025 වසරේ රජත පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටය සඳහා නිර්දේශ විය. කෙටිකතා පරිවර්තනය කෙරෙහි ද වැඩි නැඹුරුවක් දක්වන ඔහුගේ ‘අලියා අතුරුදන්’ කෙටිකතා පරිවර්තන එකතුවට 2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. ’අසම්මත ගීතය’, ‘උත්තර භූමිය’, ‘එකැස් බළල්ලු’, ‘දැවෙන තැන්න’, දුෂ්කර පෙම් බැඳුම්’ සහ ‘යුදෙව් කුරුල්ලා’ ඇතුළු කෙටිකතා පරිවර්තන සංග්‍රහයන් මෙන්ම ‘පොත් හෙර’ සහ ‘බාබුගා’හි කන්‍යා මැසින්න’ නමැති නවකතා පරිවර්තන පළ කර ඇති ඔහු ‘දෙවොල් බිම දෙදරයි’ නමින් ස්වතන්ත්‍ර නවකතාවක් ද ලියා පළ කර ඇත. එයට අමතරව, ‘හර්මන් හෙස, ඔහු සහ ඔහුගේ නිර්මාණ’ නමින් පර්යේෂණාත්මක නිබන්ධයක් සහ ‘ධන හා සෘණ’ නමින් විචාර ලිපි එකතුවක්ද ඔහුගේ සාහිත්‍ය නිර්මාණාවලියට ඇතුළත්ය. කතුවරයාගේ නවතම කෙටිකතා සංග්‍රහය පාදක කරගනිමින් ඔහු සමග අප කළ කතාබහකි මේ. ඔබේ සිව්වෙනි කෙටිකතා එකතුවට ඇතුළත් වන කෙටිකතා සියල්ල මෑත කාලීනව ලියවුණු ඒවාද? මේ කෘතියට ඇතුළත් වන සමහර කෙටිකතා ළමා කාලයේ සිටම පරිකල්පනය ඔස්සේ වැඩි දියුණු වූ ඒවා. අන්තිම කතාව වන ‘මෙන්න කැරොල් ආවා’ නමැති කෙටිකතාව ළමා කාලයේ අත්දැකීමක් ඔස්සේ කාලයක් තිස්සේ හිත තුළ පැසවපු එකක්. මෑත කාලයේ ලියවුණාට, ඒ කෙටිකතාව කාලයක් තිස්සේ හිතේ ලියවෙමින් ගොඩනැගුණු එකක්. මේ සමහර කෙටිකතාවල තියෙන්නේ අලුත්ම අත්දැකීම්. කෙටිකතාවක් ලිවීම සඳහා අත්දැකීමක් කිසියම් නිශ්චිත කාලයක් පුරා පරිකල්පනය වෙන්න ඕනෙ කියලා රීතියක්, නීතියක් නැහැ. ඒ අනුභූතියේ ස්වරූපය අනුව එය කාලාන්තරයක් තිස්සේ ගොඩනැගෙන්නත් පුළුවන්, කෙටි කාලයක් තුළ පරිකල්පනය වෙන්නත් පුළුවන්. කෙටිකතාවක් ලියවිලා අවසන් වෙනකොට පරිකල්පනයේ පරිසමාප්තියක් තියෙන්න ඕනෙ. මේ කෙටිකතා බහුතරයක් ඉතා මෑත කාලීන අත්දැකීම් ඔස්සේ පසුගිය කාලය තුළ ලියවුණු ඒවා. පොතට නම තබා ඇති ‘වැවෙන් උපන් දියකිඳුරිය’ කෙටිකතාව ගැන විශේෂයෙන් යමක් කියනවා නම්? ‘වැවෙන් උපන් දියකිඳුරිය’ මූලික වශයෙන් ශානරීය වශයෙන් මායා යථාර්ථවාදය නිරූපණය කරන කෙටිකතාවක්. මේ මායා යථාර්ථවාදය නිරූපණය කිරීම සඳහා මට මූලික වශයෙන් අත්දැකීම් ලැබෙන්නේ පසුගිය වසර තුළ මම ශරීර සුවතා ව්‍යායාම පිණිස මහනුවර වැව වටේ හැන්දෑවට සක්මනක යෙදෙමින් සිටි අවස්ථාවලදීයි. වැව වටේ ඇවිදිනකොට ඒ අවට පරිසරයේ තියෙන සුන්දරත්වය, වැවේ තියෙන චමත්කාරජනක දසුන් සහ ඒ වැව පසු කරමින් යන විවිධාකාරයේ රූමත් කාන්තාවන් ඇතුළු සියල්ලේ සමස්තයක් හැටියට ඇති වුණු පරිකල්පනයක් තමයි දියකිඳුරිය කියන්නේ. මෙවැනි දියකිඳුරියක් මේ වැවේ හිටියා නම් එයාට මොනවා වෙයිද කියන එක තමයි මට ඒ වෙලාවේ හිතුණේ. අන්න ඒක අදහස පසුබිම් කරගෙනයි ඔය කෙටිකතාව විකාශනය වෙලා යන්නේ. ‘අරණ තුළ අරම’ කෙටිකතා එකතුවට 2025 රජත පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශ? සම්මාන උත්සවවල හැඩරුව හඳුනාගෙන, ඒවායේ විනිසුරුවන්ව තෘප්තිමත් කරන්න මම කෙටිකතා ලියන්නේ නැහැ. මම ස්වාධීනව මගේ පරිකල්පනය අනුව කෙටිකතා ලියනවා. හැබැයි, අද තවමත් ලාංකීය පාඨකයන්ගෙන් බහුතරයක් කෙටිකතාවක්, නවකතාවක් හෝ ශාස්ත්‍රීය ග්රන්ථයක් මිලදී ගන්නකොට ඒකට සම්මාන ලැබුණාද කියලා බලනවා. ඒ පුරුද්දෙන් බොහෝ අය තවමත් මිදිලා නැහැ ඒ නිසා, කෘතියක් සම්මානයකට පාත්‍ර වුණොත් හෝ සම්මාන සඳහා නිර්දේශ වුණොත් ඒ කෘතිය පාඨකයා වෙත ගෙන යන්න ඒක ලොකු රුකුලක් වෙනවා. ඒනිසා, රජත පුස්තක සහ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශ වීම ගැන මට කිසියම් ආකාරයක තෘප්තියක් තියෙනවා. ඒ හරහා මට කිසියම් උත්තේජනයකුත් ලැබුණා කියලා මම පිළිගන්නවා. ඔබේ මුල්ම කෙටිකතා එකතුව වන ‘ඕලු විල කැලඹිලා’ සිට සිව්වෙනි කෙටිකතා එකතුව දක්වා එන මේ කාල පරාසය තුළ ඔබේ කෙටිකතා ශෛලියේ කිසියම් වෙනසක් සිදුව ඇතැයි ඔබට සිතෙනවාද? මූලික වශයෙන් කිසියම් පර්යේෂණාත්මක කෙටිකතාවක් ගැන අධ්‍යයනය කරන්නෙක් කවර පර්යේෂණාත්මක කෙටිකතාවක් ලිව්වත් මූලික වශයෙන් යථාර්ථවාදී කෙටිකතා රචනයේ හැකියාවක් ඔහුට තියෙන්න ඕන. අපේ නූතන චිත්‍ර ශිල්පීන් පිළි නොගත්තාට, ලෝක ඉතිහාසය පුරා බැලුවොත් සෑම විවිධාකාර චිත්‍ර ශෛලීන් හඳුනා ගත්ත ලේඛකයින්ගේ ඉතිහාසය තුළ ඔවුන්ට ස්වභාවික චිත්‍ර අඳින්න පුළුවන් බව පැහැදිලියි. ස්වභාවික චිත්‍ර අඳින්න පුළුවන් හැකියාවන් සමතික්‍රමණය කරමින් තමයි විවිධ ආකාරයේ චිත්‍ර අඳින ශිල්ප ක්‍රම ගැන ඔවුන් හොයාගෙන තියෙන්නේ. ඒ වගේම, කෙටිකතා කලාවේ නියැළෙනකොට යථාර්ථවාදී කෙටිකතාව පිළිබඳ හැකියාවක් තියෙනවා නම්, ඒ ලේඛකයාට පහසුයි ඒක සමතික්‍රමණය කරමින් අලුත් අලුත් ශානර වෙත යන්න. ඒ අනුව මගේ ‘ඕලු විල කැලඹිලා’ සහ ‘මල් කුමාරයා සහ සමන්මලී’ කියන කෙටිකතා මූලික වශයෙන් යථාර්ථවාදී රීතිය ගුරුකොට ගනිමින් ලිව්ව කෙටිකතා. ඒවායේත් පොඩි පොඩි නව අත්හදා බැලීම් තිබුණත්, මූලික වශයෙන් ස්වභාවවාදය ඔස්සේ යථාර්ථය ගවේෂණය කරන්න දරපු උත්සාහයක් ඒ තුළ තිබුණා. ඒවායේ සාර්ථකත්වය පිළිබඳව පාඨක විචාරක ප්‍රතිචාර ඔස්සේ විශ්ව සාහිත්‍යය කියවීමෙන් ලත් විවිධ ශානරීය අත්දැකීම් අත්හදා බැලීමේ ආසාවක් මට ඇති වුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මගේ ‘අරණ තුළ අරම’ සහ ‘වැවෙන් උපන් දියකිඳුරිය’ කෘතිවල ශානරීය වෙනස්කම් සිදු වෙලා තියෙන්නේ. හැබැයි, එයින් අදහස් වෙන්නේ නැහැ මම සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී රීතියෙන් බැහැර වෙලා කියලා. ඒ කෙටිකතාවලත් මගේ මූලික කෙටිකතා සම්ප්රදායය වන යථාර්ථවාදී රීතිය ගුරු කොට ගත් කෙටිකතා තියෙනවා. මෙයට පෙර පළ වූ ඔබේ කෙටිකතා කෘතිවලට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද? අනිවාර්යයෙන්ම තෘප්තිමත්. විශේෂයෙන්ම, සාමාන්‍ය පාඨකයා පුදුමාකාර විදියට මගේ කෙටිකතා පොත් හතරම ආදරයෙන් වැළඳ ගත්තා. අලුත් කෙටිකතා එකතුවටත් සාමාන්‍ය පාඨකයා හරි කැමතියි. සාමාන්‍ය පාඨකයා කියන්නේ සම්භාව්‍ය පතපොත, නවකතා ඇසුරු කරන සහෘදයා මිස අවර ගණයේ කෘතීන් ඇසුරු කරන පාඨකයා නෙවෙයි. සාමාන්‍ය පාඨකයා කියන සංකල්පය තුළත් විවිධාකාර අර්ථ නිරූපණයන් තියෙනවා. මා මෙතැනදී සාමාන්‍ය පාඨකයා කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරට හුරුපුරුදු සහෘදයායි. ඒ සියලු දෙනාම මගේ කෙටිකතා කෘතීන් හතරම ඉතාම සාදරයෙන් පිළිගත්තා. ඒ වගේම, මගේ කෙටිකතා සඳහා හොඳ විචාර ප්‍රතිචාරත් ලැබුණා. විචාර කලාව සම්බන්ධවත් විවිධ විචාර මතවාද තියෙනවානෙ. ප්‍රවීණ යැයි සම්මත ලේඛකයින් සාමාන්‍යයෙන් කලා කෘතියක් දෙස බලන ආකාරය සාමාන්‍ය පාඨකයා කලා කෘතියක් දෙස බලන ආකාරයට වඩා වෙනස්. හැබැයි එවැනි ප්‍රවීණ යැයි සම්මත විචාරකයින්ගෙන් පවා තෘප්තිමත් විය හැකි ප්‍රතිචාර ඔය පොත් හතරටම මට ලැබුණා. ඒක මට මගේ කෙටිකතාකරණය අඛණ්ඩව කරගෙන යන්න ලොකු රුකුලක් වුණා. මෑතකදී පළ වූ ‘වැවෙන් උපන් දියකිඳුරිය’ කෙටිකතා එකතුවට පවා දැනටත් අනපේක්ෂිත මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. සාමාන්‍ය පාඨකයන්ගෙන් වගේම, කෙටිකතා කියවීමට හුරුපුරුදු විචාරයේ ප්‍රවීණයන්ගෙනුත් හිතුවාටත් වඩා විශාල අවධානයක් මේ පොතට යොමු වෙලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. මේ කෙටිකතා කෘතියට විවිධ සාහිත්‍ය ශානර සහ රීතීන් මුසු කිරීමට ඔබ යොමු වන්නේ විශ්ව සාහිත්‍යය ඇසුර හරහා ලද යම් බලපෑමක් නිසාද? මා ස්වතන්ත්‍ර කෙටිකතාකරණයට සහ නවකතාකරණයට පිවිසුණේ ඊට කලින් පරිවර්තන සාහිත්‍යකරුවෙක් හැටියට කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුවයි. මුලින්ම මා රචනා කළ ‘අසම්මත ගීතය’ නමැති කෘතියත් පරිවර්තන කෙටිකතා සංග්‍රහයක්. ඒ කියන්නේ, මා කාලාන්තරයක් තිස්සේ විශ්ව සාහිත්‍යය ඇසුරු කරපු ලේඛකයෙක්. විශ්ව සාහිත්‍යය ඇසුරු කරන ලේඛකයින්ට විවිධ සාහිත්‍ය ශානරයන් හා අනුගතව ලියවුණු කෙටිකතා පරිශීලනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. නිතර විශ්ව සාහිත්‍යය කෘතීන් පරිශීලනය කරන ලේඛකයෙකුට, තමන්ගේ රචනයේදී අවශ්‍ය රූපීය අනන්‍යතාව ගොඩනඟා ගැනීමට විවිධ ශානරයන්ගේ ආභාසය ලැබීම සාමාන්‍ය දෙයක්. මටත් මගේ සාහිත්‍ය ශානරයන් ගොඩනඟනකොට මා පරිශීලනය කළ විශ්ව කෙටිකතාවල ආභාසය ලැබුණාය කියන එක මට පිළිගන්න වෙනවා. ‘අලියා අතුරුදන්’ නමින් පළ වූ ඔබේ කෙටිකතා පරිවර්තන එකතුවට 2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වීම ගැන ඔබේ අදහස? ‘අලියා අතුරුදන්’ කෘතියට ඇතුළත් වුණේ ශ්‍රේෂ්ඨ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ කෙටිකතා එකතුවක් ඇසුරෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ The Elephant Vanishes කියන කෘතියෙන් තෝරා ගත් කෙටිකතා කිහිපයක්. ඒ මුල් ඉංග්‍රීසි කෘතියට ඇතුළත් වූ සියලුම කෙටිකතා මා පරිවර්තනය කළේ නැහැ. ඒවා අතරින් කිහිපයක් පමණක් පරිවර්තනය කිරීම ප්‍රමාණවත් බවයි මගේ අදහස වුණේ. මූලික වශයෙන් පරිවර්තකයෙක් පරිවර්තනයට පෙර මුල් කෘතිය ගැන පුදුමාකාර ආස්වාදයක් ලැබිය යුතුයි කියා මා විශ්වාස කරනවා. පරිවර්තකයා ඒ මුල් කෘතිය ගැන තෘප්තිමත් වෙන්න ඕනෙ. ඉංග්‍රීසි භාෂාවෙන් පළ වී තිබුණු ඒ කෙටිකතා පොත කියවීමෙන් ලද ආස්වාදය නිසා මට හිතුණා මේ කෙටිකතා ලංකාවේ පාඨකයාටත් හඳුන්වා දුන්නා නම් හොඳයි කියලා. අන්න ඒ ආස්ථානයේ ඉඳලා තමයි මා ඒ කෙටිකතා පරිවර්තනය කළේ. ඇත්තටම ඒක ඉතාම සාර්ථක පරිවර්තනයක් වුණා. ඒ අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලවල හිටපු විනිසුරන් වගේම එවකට තිබුණු පක්ෂග්රාහී නොවන ස්වාධීන සාහිත්‍ය අනුමණ්ඩලවල සහ ජාතික කලා මණ්ඩලයේ විද්වතුන් ඒක නිසියාකාරව තේරුම් ගත් නිසා මට ඒ සම්මානය පිරිනැමුවා. එයින් මට සාහිත්‍ය පරිවර්තන කාර්යයේ තවදුරටත් නියැළීමට ලොකු ශක්තියක්, ධෛර්යයක් ලැබුණා. ඒ නිසා, 2021 වසරේ තිබුණු සාහිත්‍ය අනුමණ්ඩලයේත්, ඒ අනුමණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මාන විනිශ්චය මණ්ඩලයේත් තිබුණු පරිණත බව නොවන්නට සමහර විට මගෙන් ඒ සම්මානය ගිලිහී යන්ට ඉඩ තිබුණා කියලයි මම හිතන්නේ. ඒනිසා මම ඒ ශාස්ත්‍රීය උගතුන්ට සිරස නමා ආචාර කරනවා. මේ සම්මාන සහ නිර්දේශ ලේඛකයින්ට සහ නිර්මාණවලට වැදගත්ද? ලෝක සාහිත්‍යය ගත්තත් අපි ඉතාම රැඩිකල් කියලා හිතන ටෙනසි විලියම්ස් සහ සැමුවෙල් බෙකට් වැනි නාට්‍යකරුවන්ටත් සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම, ආසියාව ගත්තොත්, තාගෝර් වගේ ලේඛකයින්ට නොබෙල් ත්‍යාගය වැනි සම්මාන ලැබිලා තියෙනවා. අරුන්දතී රෝයී වගේ අයට බුකර් ත්‍යාගය වැනි සම්මාන ලැබිලා තියෙනවා. ඒ සම්මාන මගින් ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කුසලතාවන් පාඨකයාට හඳුනා ගැනීම සඳහා කිසියම් මෙහෙවරක් වෙනවා. එයින් අදහස් වෙන්නේ ලෝක සාහිත්‍ය ඉතිහාසය තුළ කීර්තිමත් ලේඛක ලේඛිකාවන් සියලු දෙනා සම්මාන නිසා ප්‍රකට වුණා කියන එක නෙවෙයි. සම්මාන මගින් සාහිත්‍යයට යම් මෙහෙයක් ඉටු වෙනවා. ලාංකීය සන්දර්භය තුළදී වුණත් ඒ තත්ත්වය දකින්න පුළුවන්. හැබැයි, ඇතැම් අවස්ථාවලදී සම්මාන නිසා සාහිත්‍යයට අගතියක් සිදුවිය හැකි අවස්ථාත් තියෙනවා. යම් විදියකින් සම්මානය නිසි පුද්ගලයාට නොලැබී වෙනයම් කෙනෙකුට ගියොත්, පාඨකයා විසින් හොඳ ලේඛකයා හැටියට පිළිගනු ලබන්නේ අර ගිලිහී ගිය සැබෑ ලේඛකයාව නෙවෙයි. එතැනදී ශක්‍යතාවයෙන් අඩු ලේඛකයකුගේ නිර්මාණයක් අනවශ්‍ය පරිදි මතුවීමෙන් සාහිත්‍යය අනර්ථයක් සිදුවිය හැකියි. ඒ නිසා, සම්මානවල ධනාත්මක වගේම සෘණාත්මක පැත්තකුත් තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඔබේ ‘යුදෙව් කුරුල්ලා’ කෙටිකතා පරිවර්තන කෘතියත් පසුගිය කාලයේ ඉහළ අවධානයට ලක් වුණා? ඒ පරිවර්තන කෙටිකතා එකතුව සඳහා මම මගේ අනෙකුත් සියලුම කෙටිකතා පරිවර්තනවලට වඩා ලොකු පරිශ්‍රමයක් දැරුවා. දීර්ඝ කාලයක් තිස්සේ කෙටිකතා කියවීමෙන් ලත් පරිචය තුළින් සහ පරිවර්තකයෙක් හැටියට මා ලද අත්දැකීම් හරහා සෑහෙන මහන්සි වෙලා කරපු පරිවර්තන එකතුවක් වශයෙන් ඒ කෘතිය වැදගත් වෙනවා. ඒ කෙටිකතා පරිවර්තනය කිරීමේදී මා තුළ තිබුණු අරමුණ වුණේ අන්තර්ගතය සම්බන්ධයෙන් වගේම, විශේෂයෙන්ම විශ්ව සාහිත්‍යයේ විවිධ සාහිත්‍ය ආකෘතීන් සම්බන්ධයෙන් පවතින නව ප්රවණතා අපේ පාඨකයාට හඳුන්වාදීමයි. මම අපේ පරිවර්තකයින්ගේ දෝෂයක් දකිනවා කියලා වරදවා තේරුම් ගන්න එපා. අපේ බොහෝ පරිවර්තන සාහිත්‍යකරුවන්ගේ කිසියම් දුබල ලක්ෂණත් වන්නේ ඔවුන් බොහෝවිට පරිවර්තනවලදී ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවන් සොයාගෙන යෑමයි. අද බොහෝ වෙලාවට ගාර්සියා මාකේස් සහ පාවුලෝ කොයියෝ වැනි අයගේ පරිවර්තන ගැනම පමණක් වැඩි පිරිසක් උනන්දු වෙනවා. එහෙත්, ඒ අතරතුර පැරණි සාහිත්‍යයේ මෙන්ම නූතන සාහිත්‍යයේත් දක්ෂ, එහෙත් අවධානයට යොමු නොවුණු ලේඛක ලේඛිකාවන් රාශියක් ඉන්නවා. මම මගේ කෙටිකතා පරිවර්තනවලදී වැඩි අවධානයක් යොමු කළේ අන්න එවැනි ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ, අලුත් සාහිත්‍ය ශානරයන් භාවිත කළ ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙක් ලංකාවට හඳුන්වාදීමටයි. උදාහරණයක් හැටියට ගත්තොත්, බර්නාඩ් මැලමුඩ් කියන්නේ ඇමෙරිකාවේ ඉතාම ප්‍රකට ලේඛකයෙක්. එහෙත්, ඔහුගේ නිර්මාණ ලංකාවට මෙතෙක් හඳුන්වලා දීලා නැහැ. මගේ දැනුමේ හැටියට නම්. ඔහුගේ නිර්මාණයක් මා අතින් පරිවර්තනය වන තුරුම සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. ඊළඟට ඉල්ස ඊසින්ගර් කියන ඔස්ට්‍රියානු ජාතික ලේඛිකාවගේ නිර්මාණත් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. ඇය ලියලා තියෙන්නේ කෙටිකතා ඉතාම අල්පයයි. ඒවා විශ්ව සාහිත්‍යයේ ඉතාම විශිෂ්ට කෙටිකතා හැටියට සැලකෙනවා. එහෙත්, මම ‘බෝනික්කා’ නමින් ඇගේ කෙටිකතාවක් පරිවර්තනය කරන තුරු ඇයගේ නිර්මාණ එකක්වත් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. ඊළඟට ඇන්ජලා කාටර් විශ්ව සාහිත්‍යයේ ආඛ්‍යාන රීතීන් ගවේෂණයට පුදුමාකාර උනන්දුවක් දක්වපු ලේඛිකාවක්. සමහරු කිව්වේ ඇය කෙටිකතාකාරියක් නෙවෙයි, සුරංගනා කතාකාරියක් කියලයි. ඒ තරමටම ඇය ෆැන්ටසිය භාවිත කළ, යථාර්ථය ගවේෂණය කළ ලේඛිකාවක්. එහෙත්, ඇයගේ එකම නිර්මාණයක්වත් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තොත්, යසුනරි කවබතා වැනි ඉතාම ප්‍රකට ලේඛකයාගේත් අමුතුම ආරක් ගත් කෙටිකතාවක් තියෙනවා. ඒ කෙටිකතාව මම ‘තනි අත’ නමින් පරිවර්තනය කළා. ඒක යසුනරි කවබතාගේ අනෙක් කෙටිකතාවලට වඩා වෙනස් නිර්මාණයක්. මායා යථාර්ථවාදී කෙටිකතා සම්ප්රදායයේ ආදිතම කෙටිකතාවක් හැටියටයි ඒ නිර්මාණය සැලකෙන්නේ. මාක්වේස් පවා ඒ කෙටිකතාව අගය කරලා තියෙනවා. මහාචාර්ය ආරිය රාජකරුණා වැනි, ජපන් කෙටිකතා සිංහල භාෂාවට පරිවර්තනය කළ ශූර පරිවර්තකයෙකුට පවා මේ කෙටිකතාව මග හැරිලා ගිහින් තිබුණා. ඉතින් මට හිතුණා මේ කෙටිකතාව අනිවාර්යයෙන්ම පරිවර්තනයක් හැටියට ලංකාවේ සිංහල පාඨකයාට හඳුන්වාදීම වැදගත් කියලා. මම හිතුවා වගේම, ඒ කෙටිකතාව පිළිබඳව අද බොහෝ දෙනෙක් මගෙත් එක්ක කතා කරනවා. ඒක ඉතාමත්ම සාර්ථක පරිවර්තනයක් කියලත් කියනවා. ඒ වගේම, යසුනරි කවබතා පිළිබඳව තිබුණු මූලික ප්රතිරූපයන් ඒ එක්කම වෙනස් වෙලා තියෙනවා. ඔහුත් අමුතුම මාදිලියේ, යථාර්ථවාදී රීතියෙන් පරිබාහිර වෙන යම් සාහිත්‍ය ශානරයන් භාවිතයට පුදුමාකාර දක්ෂතාවක් තියෙන කෙටිකතාකරුවෙක් කියලා, මේ කෙටිකතාව මම පරිවර්තනය කළාට පසුව අද ලංකාව තුළ කතා වෙනවා. ‘යුදෙව් කුරුල්ලා’ හරහා මා කිරීමට දැරූ පෙරළිය, විප්ලවකාරී ක්‍රියාදාමය තේරුම් ගත්ත සාමාන්‍ය පාඨකයා වගේම විද්වත් විචාරකයින්ද ලංකාවේ සිටීම ගැන මම හරි සතුටු වෙනවා. ● අජිත් නිශාන්ත ajithn.media@gmail.com

