FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොලාජ් කොලම – හදිසියේම පෑයූ චෙන්නායි සඳ

FM Heart · 3 min read

The Heart Academy
පසුගිය අගෝස්තු මාසයේ දිනෙක, මා මවිතයටත් සතුටටත් පත් කළ කෙටි ලිපියක් මගේ විද්‍යුත් ලිපි අතරට ලැබී තිබුණි. එය එවා තිබුණේ චෙන්නායි වැසියෙකු වන අනිරුද් ආචාර්‍ය (Anirudh Acharya) විසිනි. ඔහු සඳහන් කර තිබුණේ මවිසින් රචිත “කෙටි වුණත් ඒ කවි” පොතෙහි ඉංග්‍රීසි පරිවර්‍තනයෙහි (Brief though These verses – Translated by Malinda Seneviratne) පිටපතක් කොළඹ පොත්සලකින් ගත් බවත් ආපසු සිය රට යන අතරේ ගුවනේදි එය කියවා රස විඳි බවත්‍ය. අනිරුද් ආචාර්‍ය ද කෙටි කවි ලියන්නෙකි. ඔහුගේ ප්‍රථම කවි එකතුව ”Suddenly the moon” (හදිසියේම සඳත්) ශ්‍රී ලාංකික මිතුරෙකු අතේ මට එවා තිබුණි. ගණිතය පිළිබඳ ආචාර්‍ය උපාධිධරයෙකු ද වන අනිරුද් හයිකු කවි අනුගමනය කරන්නෙකි. ඔහු තම කෙටි කවි ගැන මේ පෙරවදනෙහි ම මෙසේ කියයි. “මගේ ජීවිතයේ වැඩි කොටසක් ගත කර ඇත්තේ චෙන්නායි හිය. මෙම කවි කියවන විට එහි ජීවිතය පිළිබඳ කුඩා දසුන්, ඔබ ඉදිරියේ නිහඬව මතු වනු ඇතැයි සිතමි. විචිත්‍රවත් දර්‍ශන නිර්‍මාණය කිරීම මෙහි අරමුණ නොවේ. ඒ වෙනුවට සරල ක්ෂණික තෙළි තුඩු පහර (Brushstrokes) කීපයක් මැවීමයි මගේ අරමුණ. මේ කවි බොහොමයක් මවෙත පැමිණියේ නිරුක්සාහයෙනි. යමක් නිර්‍මාණය කළ බවට හැඟීමක් වෙනුවට යමක් අල්ලා ගත් බවට හැඟීමක් මට දැනෙයි. නිරීක්ෂණය තුළින් වදන් උපදී. මුහුලසක රැඳි සමන් මලක් කෙනෙකුගේ බැල්මක් බළලෙකු මත මට හිරු එළි දහරක් වැනි දෙයකින් එය සිදුවෙයි.” අනිරුද්ගේ මෙම අදහස්, හයිකු කවියේ මූලික සෞන්දර්‍යාත්මක ලක්ෂණයන්ට ද සමීපය. අනිරුද්ගේ කෙටි කවි කීපයක් මෙසේ සිංහලට නඟමින් ඔහුට මගේ ගෞරවාදරය පුද කරමි. (1) ඉදිවෙමින් පවතින මහල් නිවාස මිලදී ගන්නට බලා සිටින්නෝ දවස පුරා එති, යති පරෙවියෝ ද බලති, ඒ මේ අත (2) පැරණි සේයා රූ එකතු පෙරළමින් තමන් කවුදැයි සොයති පවුලක් (3) නිහඬ ගිම්හාන රැයෙක කුඩා වැලක් වැඩෙයි බිතු මත දිසි එළිය දෙසට (4) විකිණීමට ඇත ළමා විය ගෙවූ නිවස හිස් කළ අල්මාරි තුළ පැරණි මතක හදවතේ මිතුරා, බුද්ධි බුද්ධි නැති තැනක් නැත. දොරට වැඩුමකට ගියත් බුද්ධි එතැනය. සම්මාන උළෙලකට ගියත් බුද්ධි එතැනය. නාට්‍ය ශාලාවකට ගියත් බුද්ධි එතැනය. මංගල්‍යයකට හෝ අවමංගල්‍යයකට ගියත් බුද්ධි එතැනය. මේ අයුරින් බුද්ධි හමුවන තැන් තවත් බොහෝ ඇත. බුද්ධි යනු බුද්ධි ගලප්පත්ති බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහු අපේ කලා ලෝකයේ බ්‍රෑන්ඩ් එකකි. බුද්ධි කවි ලියයි. ඒ අතරම අනුන්ගේ කවි කියවමින් ඒවා ඔසවා තබයි. පුවත්පත් කවි පිටු සංස්කරණය කරයි. බුද්ධි තීරු ලිපි ලියයි. ඔහුගේ බස රසවත්‍ය. පොහොසත් ය. ඔහු ලියන “සහෘද සටහන්” හා “කවි මිහිර” සෑම වසරකම ග්‍රන්ථයක් වශයෙන් සංගෘහිතික කෙරෙයි. එම ග්‍රන්ථ මාලාව සාහිත්‍ය කලා පිළිබඳ දත්ත සංග්‍රහයක් බඳුය. 1976 වසරේ දිනයෙක මම සුගතපාල ද සිල්වා හමුවනු පිණිස ගුවන්විදුලි සංස්ථාවට ගොස් සිටියෙමි. බුද්ධි ද එහි පැමිණියේ ඔහුගේ “රැජිනක් හැඬුවාය” කවි එකතුව සුගතපාල ට පිරිනමනු පිණිසය. එහි පසු කවරයෙහි බුද්ධි පිළිබඳ දීර්‍ඝ විස්තරයක් විය. ඒ දුටු, සුගතපාල බුද්ධිට මෙසේ කීවේය. “උඹ මොකටද මෙච්චර දිග විස්තරයක් දාන්නේ? උඹ ගැන මිනිස්සු නොදන්නවයැ” එදායින් පසු බුද්ධිගේ පොත්වල, පසු කවර සටහන කෙටි විය. දැනට කවි එකතු 15ක් පමණ පළකර ඇති බුද්ධිගේ “හදවතේ මිතුරන්” කාව්‍ය සංග්‍රහය මෑතකදී නිකුත් විය. එහි මුල් කවිය වන “මම මා සොයමි” තුළ මා මේ සටහනේ මුලින් කියූ අදහසම බුද්ධි ඔහු කවි ඇසින් දකින අයුරු පිළිබිඹු වේ. ඒ කව ඔහු අවසන් කරන්නේ මෙලෙසිනි. “මට මා හමුවිය කොතැනද කෙලෙසින් ද මා කවුරුන්ද යන සිතුවිල්ලෙන් මිදෙමි අඳුරු සළුව පොරවා නිදා ගන්නෙමි මම උදෑසන පිබිදුණ හොත් යළි සොයමි මා කවුද මා කොහිද කියා.”
99mobile