FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කෙනෙහිලි මැද හෙළටම වැටෙන හෙළ වෙදකම

FM Heart · 10 min read

The Heart Academy
හෙළ වෙද පරම්පරාවල සාමාජිකයන් ප්‍රතිකාරවලට මුදල් අය කරන්නේ නෑ… මිහින්තලේ පැරැණි රෝහල් භූමිය තණපිටියක් වෙලා… දේශීය වෙදකමට අවශ්‍ය ඖෂධ ගේන්නෙත් පිටරටින්.. සුළුගුළු වෙද පරම්පරාව වෙදකම් කරල තියෙන්නෙත් භේසජ්ජ ස්කන්ධයෙන්… විනය පිටකයේ භේසජ්ජ ස්කන්ධයේ ප්‍රතිකාර ක්‍රම අදටත් ක්‍රියාත්මකයි… අපේ රටේ වෙදකම හා හෙදකමේ ඉතිහාසය පුලතිසි ඉසිවර යුගය දක්වා දිවයන්නෙකි. වසර එක්ලක්‍ෂ පනස් දහසකට ඈත යුගයේදී පුලතිසි ඉසිවරයා සිංහල වෙදකම ඉන්දිවයාට ද ඉගැන්නූ බව දේශීය වෙද පොත්පත්වල සඳහන් කර තිබේ. සිංහල වෙදකම ආයුර්‍වේද වෙදකමට පෙරළාගත් ඉන්දියාවේ ‘දන්නන්තරී ඉසිවරයා’ මීට වසර පන්දහසකට පෙර සිට මෙරට ආක්‍රමණය කිරීමට වෑයම් කෙරිණි. එහෙත් එකල සිංහල වෙදකමේ ප්‍රබලත්වයට එය ඉටු කරගැනීමට නොහැකි විය. ලන්දේසි, පෘතුගීසි සහ ඉංගීසි ආක්‍රමණිකයන් විසින් මෙරට සම්පත් විනාශ කිරීම, කොල්ලකෑම, වෙදකම් – හෙදකම් ශාස්ත්‍රය ලියැවුණු පුස්කොළ පොත් විනාශ කිරීම, එම රටවලට රැගෙන යෑම හා ඖෂධ විනාශ කිරීමත් සමග ඉන්දියාවට මෙරට ආයුර්‍වේද වෙදකම පැළ කිරීමට පහසු විය. එමෙන්ම 1977 වර්‍ෂයේ මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්‍ථික ක්‍රමය තුළ ආයුර්‍වේද වෙදකම රට පුරා වේගයෙන් ප්‍රචලිත විය. අවසානයේ ආයුර්‍වේද වෙදකමට ඇවැසි අඩුමකුඩුම ද ඉන්දියාවෙන් ආනයනය කරන තැනට පසුබිම සැකසිණි. මේ වෙනකොට උණ, සෙම්ප්‍රතිශ්‍යාවට බොන කටුවැල්බටු, පත්පාඩගම් සහිත පස් පංගුවම පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත්ව ඇති බව වාර්‍තා වේ. දේශීය සහ ආයුර්‍වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක අමුද්‍රව්‍යවලින් 50% කට අධික ප්‍රමාණයක් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලින් ආනයනය කරන බව ද වාර්‍තා වේ. ඖෂධ අමුද්‍රව්‍ය එකසිය තිහක් ඉන්දියාව සහ චීනයෙන් ආනයනය කරන බව ද වාර්‍තා වේ. එවැනි පසුබිමක හෙළ වෙදකමට අත්ව ඇති ඉරණම ගැන තේරුම් ගැනීම අපහසු නැත. එහෙත් ලෝකයේ පැරැණිතම වෛද්‍ය විද්‍යාව වන ‘සිංහල වෙදකම’ අදට ද මෙරට සුරක්‍ෂිතව පවතින බව සැබෑ ය. සර්‍පයෙක් දෂ්ට කළ විට කාල හෝරාව, දූත ලක්‍ෂණ පරීක්‍ෂා කර සතාව හඳුනා ගෙන ප්‍රතිකාර කරන වෙද මහත්වරු අදට ද මෙරට සිටිති. කැඩුම් – බිඳුම්, ඇස් වෙදකම අදට ද සාර්‍ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. හිසේ සිට දෙපතුල දක්වා මිනිසුන්ට හැදෙන සියලුම රෝගවලට ප්‍රතිකාර කළ හැකි දේශීය වෙදකම් ක්‍රම අදට ද ක්‍රියාත්මක වෙමින් තිබීම මෙරටට අභිමානයකි. මිනිසුන්ට පමණක් නොව, සතා සිව්පාවුන්ට හා ගහ කොළවලට ද හැදෙන ලෙඩවලට ප්‍රතිකාර ක්‍රම සිංහල වෙදකම සතු ය. සියලු සත්වයාට, ගහ කොළවලට හැදෙන ලෙඩ සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධ වර්‍ග ද මෙරට පොළොවේ පැළ වන බව සැබෑ ය. බටහිර වෛද්‍ය විද්‍යාව උපන් එංගලන්තයේ මෙන්ම ලොව පුරා විවිධ රෝගීන් මෙරටට පැමිණ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා ගන්නා බව නොරහසකි. එවැනි පසුබිමක පැවිදි සමාජයට අවශ්‍ය බෙහෙත් හේත් සහ ප්‍රතිකාර කරන ‘භේසජ්ජ’ ප්‍රතිකාර ක්‍රමයක් ගැන ද අපට වාර්‍තා විය. එම වෙදකම් ක්‍රමය ගැන පර්‍යේෂණ කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරියක සහ සිංහල වෙද මහත්වරු තිදෙනෙක් සමග අපි සාකච්ඡා කළෙමු. පහතින් පෙළගැසෙනුයේ ඔවුන් දැක්වූ අදහස්වල සංක්ෂිප්තයකි. ලෝකයේ වෙදකම බිහිවීම සහ වර්‍ධනයවීම මනුෂ්‍ය ඉතිහාසය, සංස්කෘතිය සහ විද්‍යාව සමග එකිනෙකට බැඳුණු දිගු ගමනකි. මුල් යුගයේදී මිනිසා තුවාල සුව කරගැනීමට සහ වේදනාව සමනය කරගැනීමට සොබාවධර්‍මය මත යැපිණි. කොළ වර්‍ග, මුල් සහ ගස්වල පොතු හපමින් තුවාල, වේදනාව සමනය කරගත් මිනිස්සු මන්ත්‍ර, යාග හෝම, විවිධ ඇදහිලි ද විශ්වාස කළහ. කාලයත් සමග විවිධ ශිෂ්ටාචාරයන් තුළ සංවිධානාත්මක වෛද්‍ය ක්‍රම බිහි විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ, සොබාදහම සහ ආත්මය පදනම් කරගත් ආයුර්‍වේද, සිද්ධා සහ යුනානි වැනි වෛද්‍ය ක්‍රම ගොඩනැඟිණි. රෝග විනිශ්චයත් සමග ඍෂිවරු විසින් වෙදකම්වලට අවශ්‍ය ශාක හඳුනා ගත්හ. ඒ සමග කිරා මැන බෙහෙත් දෙන ක්‍රමයක් ද ආරම්භ විය. එම වෙදකම ‘ඍෂි වෙදකම’ යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එහෙත් මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී දේශනා කරන ලද වචන, සූත්‍ර දේශනාවට අනුව ඍෂි භාෂිතය ‘බුද්ධ භාෂිතයට’ පරිවර්‍තනය විය. එම භාෂිතය අවබෝධ කරගත් දෙවිවරු, බ්‍රාහ්මණයන් හා ප්‍රඥාවන්ත මනුෂ්‍යයෝ බුදුන් සරණ ගියහ. බුදු මග ගිය භික්‍ෂුන් වහන්සේගේ අසංඛ්‍ය වූ ඥානයට අනුව හැදෙන රෝගාබාධ ද වෙනස් ය. සරත් කාලයේදී සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටි භික්‍ෂුන් වහන්සේගේ පිත කිපීම නිසා හටගත් රෝගයකින් කෘශ වී දුර්‍වර්‍ණ වූහ. එම රෝගයට පිළියම් ලෙස බුදුරජාණන් වහන්සේ ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී පැණි සහ උක් හකුරු යන ඖෂධ පස් වර්‍ගය පිළිගෙන වැළඳීමට අවසර ලබා දී ඇති බව විනය පිටකයේ මහාවග්ගපාලියේ භේසජ්ජ ස්කන්ධයේ සඳහන් කොට ඇත. එමෙන්ම භික්‍ෂුන් වහන්සේලා රෝගී වූ විට භාවිතා කිරීමට අනුමත කර ඇති ප්‍රධාන ඖෂධ කිහිපයක් ද භේසජ්ජ ස්කන්ධයේ සඳහන් කොට ඇත. පංච භේසජ්ජ, මූල භේසජ්ජ, කසාව සහ පත්ත භේසජ්ජ, ඵල ජතු සහ ලෝන භේසජ්ජ සහ වසා භේසජ්ජ (සත්ත්ව තෙල්) ආදී වෙදකම් ක්‍රම ය. පංච භේසජ්ජ ඖෂධ වට්ටෝරුවට ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී පැණි සහ උක් හකුරු අයත් වන අතර ඒවා පිළිගත් දින සිට දින හතක් ඇතුළත ඕනෑම වේලාවක වැළඳිය හැකි ය. කහ, ඉඟුරු, වදකහ, හෙළ වදකහ, අතිවිඩයම්, කටුරෝසන, සුවඳකොට්ටං සහ කලාඳුරු ආදී මුල් වර්‍ග මූල භේසජ්ජ ඖෂධ ලෙස අනුමත කර ඇත. කසාව සහ පත්ත භේසජ්ජ යනුවෙන් හඳුන්වනුයේ කොහොඹ, කෙලිඳ, දුම්මැල්ල ආදී කසට වර්‍ග සහ කොහොඹ කොළ, කෙලිඳ කොළ, මදුරුතලා කොළ ආදී පත්‍ර වර්‍ග ය. වලඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි වැනි ගෙඩි වර්‍ග, හිඟු ආදී මැලියම් වර්‍ග, මුහුදු ලුණු, සහිඳ ලුණු, සුවල ලුණු ආදී ලුණු වර්‍ග ද ඵල, ජතු සහ ලෝන භේසජ්ජ වට්ටෝරුවට අයත් වේ. වලස් තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල් සහ කොටළු තෙල් යන තෙල් වර්‍ග පෙරවරුවේ පිළිගෙන පෙරවරුවේම පිස ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ද අවසර ලබා දී ඇත. එමෙන්ම කැඳ වැළඳීමෙන් ආයුෂ, වර්‍ණය, සැපය, බලය සහ ප්‍රඥාව වැඩීම ඇතුළු ආනිශංස දහයක් ලැබෙන බව ද භේසජ්ජ ස්කන්ධයේ සඳහන් කොට ඇත. මිනී මස්, ඇත් මස්, අස් මස්, බලු මස්, සර්‍ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් සහ කරබානා වලස් මස් යන දස වැදෑරුම් මාංස වර්‍ග භික්‍ෂුන්ට අකැප බවට ද විනය නීති පනවා තිබේ. ලොව පැරැණිතම දියුණු රෝහල ලෙස ඉතිහාසගතව තිබෙන මිහින්තලේ ඓතිහාසික රෝහල ඇතුළු අනුරාධපුරය, මැදිරිගිරිය සහ පොළොන්නරුව ආලාහන පිරිවෙන යන ආරාමවල පිහිටු වූ රෝහල්වල භේසජ්ජ ස්කන්ධයට අනුව වෙදකම් කර ඇති බවට සාක්‍ෂි තිබෙන බව දේශීය වෛද්‍ය මතය වේ. දෙවැනි සේන රජු විසින් ක්‍රිස්තු වර්‍ෂ 9 වැනි සියවසේදී මිහින්තලේ ආරම්භ කර ඇති රෝහලේ නටබුන් අදට ද අපට දැකගැනීමට තිබේ. මිහින්තලේ කඳු පාමුල, මිහින්තලා පුරාවිද්‍යා කෞතුකාගාරයට නුදුරින් පිහිටි පැරැණි රෝහල විවෘත භූමිය සහිත ඉදිරිපස කොටස සහ බුදු පිළිමය සහිත ඇතුළත කොටස වශයෙන් වෙන් කර හඳුනාගත හැකි ය. විවෘත අංගණය සහිත ඉදිරිපස කොටස බාහිර රෝගී අංශයක් ලෙස ද ඇතුළත වාට්ටු සහිත නේවාසික රෝහල් පරිශ්‍රය ලෙස ද පැහැදිලි වේ. ඖෂධ නිෂ්පාදනය හා ගබඩා කාමර, දාන ශාලාව, උණු දිය නාන භාජන සහිත කාමර, ඖෂධ ඔරුවක්, ඇඹරුම් ගලක්, නේවාසික භික්‍ෂු කුටි 32ක් සහිත දොරටු පාලක කුටියක් ඇතුළු තවත් ස්ථාන රාශියක් එම රෝහලේ ස්ථාපිතව ඇති බව පුරාවිද්‍යා වාර්‍තාවල සඳහන් ය. හදවත දැවෙන කාරණය නම් ලොව පැරැණිතම රෝහල් භූමිය තණකොළවලින් වැසී යෑම ය. එම පුරාවිද්‍යා ස්ථානයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක නිලධාරියෙක් හෝ නොසිටීම ගැන ය. එමෙන්ම මිහින්තලේ සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපියේ සඳහන් ආකාරයට ‘වෙදකුට නින්දගම් ලෙස දෙතිසෑ හේනෙන් පෑලක් ද විය ගමින් කොටසක් ද හිමි විය යුතු අතර කුණ්ඩල වෙදකුට කිරියෙන් භාගයක් ද දටිය ගමින් කොටසක් ද හිමි විය යුතු ය. වෙදහලක නඩත්තුව සඳහා දුන් කුඹුරු දීමනා ගැන ද මිහින්තලේ වෙදහල අසල දොරටුපාල ගලක කොටා ඇති 10 වන සියවසට අයත් සෙල් ලිපියක සඳහන් ය. එම සෙල් ලිපියෙහි සඳහන් ආකාරයට එකල අතුරු වෛද්‍ය සේවාවක් ද ක්‍රියාත්මක ඇත. පැරැණි රෝහලවල සිදු කර ඇති ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රකට ‘භේසජ්ජ ස්කන්ධ වෙදකම’ ස්වාභාවික ඖෂධයන්ගෙන් සහ මානසික, කායික, යහපත් කල්ක්‍රියාව බැඳී පවතින පුළුල් වෛද්‍ය විද්‍යාත්මක සංකල්පයක් ලෙස හැඳින්විය හැකි බව ද දේශීය වෛද්‍ය මතයකි. ශරීරයේ ධාතු සමතුලිතතාව (වාත, පිත, සෙම්) මනාකොට පවත්වා ගනිමින් රෝගය මූලයෙන්ම සුවපත් කිරීම ද භේසජ්ජ වෙදකමේ මූලික ලක්‍ෂණයකි. මලියදේව මහ රහතන් වහන්සේට හටගත් උදරාබාධයක් (බඩේ අමාරුවක්) සුවපත් කිරීමට කැඳ ලබා දී ඇති සුළුගුළු උපාසක ද භේසජ්ජ ස්කන්ධ ප්‍රතිකාර ක්‍රම හොඳින් ප්‍රගුණ කළ හෙළ වෙදැදුරෙකි. ඖෂධ එකළොහක (ඒකාදශයාගුවක්) එකතුවකින් පිළියෙල කර ඇති ‘සුළුගුළු කැඳ’ උදරගත රෝග, ආම රුදා සහ වාත රුදා සුවපත් කිරීම සඳහා භාවිතා කරන ප්‍රබල පේයාවක් (බෙහෙත් කැඳක්) බව ද ප්‍රසිද්ධ ය. අනුරාධපුර, මිහින්තලේ සහ අවට ප්‍රදේශවල ‘සුළුගුළු පුරාණ විහාරය’ නමින් හැඳින්වෙන බෞද්ධ සිද්ධස්ථාන පිහිටා ඇති අතර එම ස්ථාන මලියදේව හිමියන්ගේ සහ උපාසකවරුන්ගේ වාසභූමි ලෙස ද සලකනු ලැබේ. සුළුගුළු වෙද පරම්පරාවෙන් පැවතෙන වෙදැදුරෝ අදට ද කුරුණෑගල ඇතුළු විවිධ ප්‍රදේශවල සිටිති. ඔවුන් සිංහල වෙදකම ද කරනු ලැබේ. එහෙත් ප්‍රසිද්ධියට අකැමැති ය. ප්‍රසිද්ධිය ඔවුන්ගේ වෙදකමට තර්‍ජනයක් බව ද වාර්‍තා වේ. මෙරට ආක්‍රමණය කරනු ලැබූ විජාතිකයන් සිංහල වෛද්‍යවරු ඝාතනය කරමින් දේශීය වෙදකම විනාශ කිරීමට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ බව ඉතිහාසයේ කියැවේ. එවැනි පසුබිමක සිංහල වෛද්‍යවරු ආරක්‍ෂිත ප්‍රදේශවලට ගමන් කොට රහසේ ජීවත් වූ බව ද සැබෑ ය. යටත්විජිත භාවයෙන් මෙරට නිදහස් වුව ද දේශීය වෙදකමට වින කටින බලවේග තුරන් නොවිණි. එම බලවේග අදට ද විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙයින් පැරැණි වෙද පරම්පරාවල සාමාජිකයො කලඑළි නොබසති. එමෙන්ම හෙළ වෙද පරම්පරාවලින් පැවතෙන වෙද මහත්වරු බාල වෙදකම නොකරති. රෝගීන්ට ප්‍රතිකාර කොට මුදල් අය නොකරති. මිනිසුන් මුළා කොට සමාජ මාධ්‍යයේ කරගෙන යන ඖෂධ මාෆියාවට හවුල් නොවෙති. බුද්ධ භාෂිතයට අනුව ඖෂධ ප්‍රතිකාර සමග මානසික, කායික, යහපත් කල්ක්‍රියාව මත පදනම්ව රෝගීන් සුවපත් කිරීම ඔවුන්ගේ අරමුණ වේ. එහෙයින් වෙද ගුරුන් පරම්‍රාවේ සෑම සාමාජිකයෙක්ටම වෙදකම හුරු නොකරන්නේ ය. වෙදකම ලබාදීමට පුද්ගල ගති ලක්‍ෂණ විශේෂයෙන් සලකා බලනු ලැබේ. හෙළ වෙද පරම්පරාවලින් පැවතෙන වෙද මහත්වරුන්ගේ ප්‍රධාන අරමුණ වෙදකම් කිරීමට වඩා වෙදකම අනාගතයට සුරක්‍ෂිත කිරීම ය. හෙළ උරුමය ඒ අයුරින්ම අනාගතයට භාරදීම ය. එහෙත් සිංහල බහුතරයක් ළඟ අපේකම නැත. දේශීය දේ අගයක් නැත. මෙරට බහුතරය සොයනුයේ ක්‍ෂණික සහනයකි. පාර්‍ලිමේන්තුවේ සහ රජයේ ඉහළ පුටු රත් කරන අය සොයනුයේ කොමිස් ය. දේශීය වෙදකම දියුණු කිරීම තුළින් ඔවුන්ට කොමිස් නොලැබේ. බටහිර වෛද්‍ය විද්‍යාව සහ ඉන්දියාවේ ආයුර්‍වේද වෙදකම ප්‍රචලිත කිරීම තුළ ඖෂධ ආනයනය වැඩි වේ. එමෙන්ම ආයුධ වෙළඳාම හැරුණු කොට මේ වෙනකොට ලෝකයේ ප්‍රබලම මාෆියාව පවතිනුයේ ඖෂධ වෙළෙඳාම තුළ ය. එහෙයින් බටහිර ඖෂධ ආනයනයේදී පමණක් නොව ආයුර්‍වේද වෙදකමට භාවිතා කරන ඖෂධ ආනයනයේදී ද කොමිස් කුට්ටි සංරණය වන බව පසුගිය කාලයේ ලැබුණු තොරතුරු ය. වර්‍තමාන තත්ත්වය ගැන අපට අදහසක් නැත. වර්‍තමානයේ ද කොමිස් මත ගනුදෙනු සිදුවන්නේ නම් මුල් තැන දෙනුයේ කොමිස්වලින් අතමිට සරුවන ආයුර්‍වේද වෙදකමේ දියුණුවට විනා සිංහල වෙදකමට නොවේ. එහෙත් වර්‍තමාන රාජ්‍ය පාලනය කොමිස් මත යැපෙන දේශපාලන ගොහුරුවක් නොවන නිසා ඖෂධ ආනයනයට විශේෂත්වයක් ලබා නොදෙනු බව අපගේ විශ්වාසයයි. එවැනි පසුබිමක දේශීය වෙදකමට සුබ දවසක් උදා වේ යැයි ද බලාපොරොත්තු තැබිය හැකි ය. එහෙත් ඇතැම් සිංහල වෙද මහත්වරු සහ කොඳු නරාටි සවිමත් රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට නිල්ගල රක්‍ෂිතයේ වැවෙන අරළු, බුළු, නෙල්ලි නෙළා ගැනීමට හෝ අදාළ ආයතනවලට විධිමත් වැඩපිළිවෙළක් නැත. අතිදුර්‍ලභ බෙහෙත් ඖෂධ ඈත ගම්මානවල මහා කැලෑවල විනාශ වී යන බව ද වාර්‍තා වේ. ඖෂධ වගාවට අවසර ලබාදෙමින්, එම නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රමවේදයන් සකස් කරන්නේ නම් රට පුරා ඖෂධ වගාව ව්‍යාප්ත වන බව ද වාර්‍තා වේ. ඖෂධ නිෂ්පාදනය සහ අපනයනය තුළින් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව ද සැබෑ ය. එහෙත් බෙහෙත් පැළෑටියක් හෝ නොහඳුනන විෂය පිළිබඳ කිසිදු දැනුමක් නැති පුද්ගලයන් අදාළ ආයතනවල ඉහළ පුටුවලට පත් කිරීම දේශීය වෙදකමට අගුණ ය. ඉතිහාසයේ සඳහන් ආකාරයට පරාක්‍රම රාජ්‍ය පාලනයේ මෙරට ජනගහනය කෝටි හයකි. දුටුගැමුණු පාලනයේදී මෙරට ජනගහනය කෝටි හතරහමාරට අඩු වී තිබිණි. එහෙත් එකල දස මහා යෝධයන් බිහි වී ඇත්තේ පිටරට කෑම ආහාරයට ගෙන, පිටරට ඖෂධ භාවිතයෙන් ලෙඩ දුක් සුවපත් කරගෙන නොවේ, මෙරට සම්පත්වලිනි. දේශීය වෙදකමේ පිහිටෙනි. යෝධ බලඇති මිනිසුන් ජීවත් වූ එකම රට ශ්‍රී ලංකාව ය. එහෙත් අද මෙරට ජීවත්වන දෙකෝටි විසිලක්‍ෂයෙන් බහුතරය ලෙඩ ගොඩවල් ය. තවමත් ප්‍රමාද නැත. බටහිර වෛද්‍ය විද්‍යාව හා සමානව දේශීය වෙදකම ගැන ද මෙරට ජනතාව විශ්වාස කිරීම ශරීර සෞඛ්‍යයට යහපත් ය. තරංග රත්නවීර
99mobile