
යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 26 ට කල් යයි
FM Heart · 2 min read
අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (12දා) නියම කළේය ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය. සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඊයේ පස්වරු 1.30 ට නියමිතව තිබුණි. නමුත් නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ සිය සේවාදායකයා කොන්ද ආශ්‍රිතව රෝගී තත්ත්වයකින් පසුවන බැවින් අධිකරණයට පැමිණිමට නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වර්තාවක් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය. එම අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බංඩාර මහතා කියා සිටියේ ඊයේ පැමිණිල්ලේ සාක්ෂි අවසන් කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටි බවයි. පැමිණිල්ල වෙනුවෙන් තවත් සාක්ෂිකරුවන් තිදෙනකු පමණක් සාක්ෂියට කැඳවීමට ඇති බව අධිකරණයට දන්වා සිටි හෙතෙම ඉදිරි නඩු දින එම සාක්ෂිකරුවන් තිදෙනා කැඳවීමට තමන් අපේක්ෂා කරන බව දන්වා සිටියේය. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ලබන 26 වැනිදා නඩු විභාගය පවත්වන බවත් එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසටත් අවවාද කළේය. රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. ඒ.ජේ.ඒ. අබේනායක

