FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බදු සහන සමග දීමනා ඉහළට…ජනපති තෙවැනි අයවැය ඉදිරිපත් කරයි

FM Heart · 17 min read

The Heart Academy
අද සිට ක්‍රියාත්මක වන පරිදි හාල්මැස්සන් හා උම්බලකඩ බද්ද රු. 10ට බස්සයි දේශීය සීනි නිෂ්පාදනය දිරිගැන්වීමට ආනයනික සීනි බද්ද රු. 10කින් ඉහළට අභ්‍යාස පොත් මුද්‍රිත පොත්පත් සඳහා අය කළ වැට් බද්ද ඉවතට පුද්ගල ආදායම් බදු සහනය රුපියල් 150,000 සිට 162500 දක්වා ඉහළට මහනුවර, මුලතිව්, කිලිනොච්චි, වවුනියා, ගම්පහ සහ අවිස්සාවේල්ල මහරෝහල් කිහිපයක් මධ්‍යම රජය යටතට වන අලි මරණවලට දඩය ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩි කෙරේ අනුරාධපුර පූජා භූමි සංවර්‍ධනයට රුපියල් මිලියන 1076ක් වකුගඩු සහ ආබාධිත දීමනාව රුපියල් 12,500 දක්වා ඉහළට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට නව කළමනාකාර ව්‍යුහයක් වියළි මිරිස් බදු රු. 50කින් පහළට රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඉහළට විනිසුරු දීමනා වැඩි කෙරේ 13 ශ්‍රේණියේ දරුවන්ට කොටස් වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ දෛනික ආහාර දීමනාව ඉහළට මුද්‍රණ කඩදාසි ආනයන බදු ඉවතට ග්‍රාම නිලධාරී ගමන් වියදම් දීමනාව 4000 කින් ඉහළට පානීය ජල සම්පාදනයට මිලියන 77,000ක් ප්‍රධාන දුම්‍රිය මාර්‍ග තුනක් විද්‍යුත්කරණයට මිලියන 85,000ක් රුපියල් 30,000 පොහොර සහනාධාරය අනෙකුත් භෝගවලටත් දෙනවා සත්ත්ව සුබසාධනයට සත්ව රෝහලක් ඇති කරනවා නව බස්‍රථ 250ක් සහ දුම්‍රිය 5ක් මිලදී ගන්නවා තේ පොහොර මිටියකට රුපියල් 4,000ක සහනාධාරයක් බැටරි සහිත සෝලා ගහන ගෙවල්වලට රු.25000ක සහනාධාරයක් සරසවි සිසුන්ගේ මාසික යැපීම් දීමනාව රු. 10000 දක්වා වැඩි කෙරේ විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය දීමනා ඉහළට අයවැය ප්‍රකාශය පැය 5 1/2ක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන පීඩාව අවම කිරීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආහාර ක්‍ෂේත්‍ර කිහිපයකට අඩු කරමින් තවත් ක්‍ෂේත්‍ර රැසක දැනට ඇති දීමනා වැඩි කරමින් හා බදු අනුපාත අඩු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12දා) සිය රජයේ තෙවන අයවැය පාර්‍ලිමේන්තුව හමුවේ තැබීය. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයකට රුපියල් 100 සිට 10 දක්වා ද උම්බලකඩ සඳහා කිලෝග්‍රෑම් 1කට රුපියල් 302 සිට රුපියල් 10 දක්වා ද කුඩු කළ හා කුඩු නොකළ වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් ද බදු අඩුකිරීමට යෝජනා කෙරුණු අතර එම බදු සංශෝධනය අද (13) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ආනයනික සීනි මත පනවා ඇති විශේෂ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් වැඩි කිරීමට යෝජනා කර ඇති අතර දේශීය සීනි කර්‍මාන්තය ආරක්‍ෂා කිරීම හා දිරිගැන්වීම පවතින බදු විෂමතාව අඩු කිරීමට එම පියවර ගන්නා බවද කීය. අත්‍යවශ්‍ය පොත් හා මුද්‍රිත පොත් මුද්‍රණ ද්‍රව්‍ය සඳහා වූ අගය මත අය කළ බද්ද නිදහස් කිරීමටත් අලුතින් වැට් බද්දට ලියාපදිංචි වූ අපනයනකරුවන්ට ඉක්මනින් සුදුසුකම් ලත් අපනයන කරන්නන්ට පහසුකම් සැලසීමටත් පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කරමින් පැනවූ බදු සීමාව රුපියල් 162500 දක්වා ඉහළ නැංවෙයි. ඒ අනුව 162500 දක්වා මාසික වැටුප් හා දීමනා ලබන අයෙක් බදු නොගෙවිය යුතු බවද කියා සිටියේය. නිශ්චිත එම්. එස්. කේත යටතේ වර්‍ගීකරණය කර ඇති මුද්‍රණ කඩදාසි ආනයන සඳහා අය කළ සියයට 10 ක වරාය හා ගුවන් තොටුපළ බද්ද ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගැනේ. පළාත් සභා යටතේ ඇති මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, ගම්පහ, අවිස්සාවේල්ල රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනේ. බන්ධනාගාර තදබදය නැති කිරීමට අලුතින් මිල්ලෑව ප්‍රදේශයේ බන්ධනාගාරයක් ඉදිකිරීමට රු. මිලියන 300ක් වෙන් කෙරේ. වනසතුන් සඳහා අනුරාධපුරයේ රෝහලක් ඉදිකරන අතර වන සත්ව අපරාධ සිදුකරන අයට අය කළ දඩ මුදල් වැඩි කිරීමට පියවර ගැනේ. ආබාධිත අයට දුන් මාසික දීමනා රුපියල් 10000 සිට 12500 දක්වාත්, වකුගඩු රෝගී දීමනාව 12,500 දක්වාත් වැඩි කෙරේ. වෛද්‍යවරුන්ගේ වැට් ඩැට් දීමනාව රුපියල් 25000කින් ඉහළට, පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය දීමනාව රුපියල් 6000කින් ඉහළට, කොටස් දෙකකින් ලබාදෙයි. ග්‍රාමනිලධාරි, සංවර්‍ධන නිලධාරි, සමෘද්ධි දීමනා ඉහළට, විශ්‍රාම වැටුප් සංශෝධනය කරන තෙක් රුපියල් 2500ක අතුරු දීමනාවක්. ආර්‍ථික පරිවර්‍තනය සඳහා වූ අත්‍යවශ්‍ය පදනම් ගොඩනැංවීම නීතිමය රාමුව ශක්තිමත් කිරීම අපේක්ෂා කරනු ලබන ආර්‍ථික පරිවර්‍තනය ළඟාකර ගැනීම හා කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව ශක්තිමත් නීති රාමුවක් හා ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. අපේ සමහර නීති අවුරුදු 100 කට වඩා පැරැණියි. අපේ සමහර ආයතනවල කාර්‍යභාරය අවසන් වී තිබෙනවා. එම නීති හා ආයතන අපේක්ෂා කරන ආර්‍ථික පරිවර්‍තනයන් කරා ළඟාවීමට දෙපා බැඳ තබන විලංගු බවට පත්ව තිබෙනවා. එබැවින් නව ආර්‍ථික පරිවර්‍තනය ළඟාකර ගැනීම සඳහා පැරැණි, යල්පිනූ නීති හා ආයතනයන් වර්‍තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යළි සකස් කිරීමත්, ඇති වී තිබෙන නව තත්ත්වයන්ට අනුරූප වන පරිදි නව නීති හා ආයතන ගොඩනැංවීමත් අවශ්‍ය වෙනවා. මෙම විලංගු ඉවත් කිරීමකින් තොරව අපට ඉදිරියට යා නොහැකි වේ. ඒ වෙනුවෙන්; වසංගත, ස්වභාවික ආපදා, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැනි විවිධ අර්‍බුදයන් හේතුකොටගෙන කඩා වැටුණු ව්‍යාපාර නැවතත් ගොඩනැංවීමට, ආර්‍ථිකයට දායක වීමට සහ ණය හිමියන්ගේ මුදල් ගෙවීමට අවස්ථාවක් උදාකර දීම සඳහා “2026 අංක 12 දරන බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තු භංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත” සම්මත කර තිබෙනවා. “2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත” තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍යවන නීති සම්මත කර තිබෙනවා. “2026 අංක 17 දරන මුදල් ගනුදෙනු වාර්‍තා කිරීමේ (සංශෝධන) පනත” මගින් මූල්‍ය පද්ධතියට වාර්‍තා නොවීම නිසා තිබූ අවදානම අවම කිරීමට හා අනුගත නොවෙන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. “2026 අංක 18 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනතින්” මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට තර්‍ජනයක් වන හා ශ්‍රී ලංකාව භාවිත කරමින් ගෝලීය ත්‍රස්තවාදයට මූල්‍යනය කිරීම වළක්වා තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විටත් විශාල ණය උගුලක හිරවී ඇත. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් “2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත” සම්මත කර තිබෙනවා. ඒ අනුව ‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය’ 2027 වසරේ පිහිටුවා, ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති ආරම්භ කිරීම, සංවර්‍ධනය, කළමනාකරණය හා අධීක්ෂණය සඳහා මේ වන විටත් “රාජ්‍ය පෞද්ගලිකත්ව හවුල් ව්‍යාපාර (PPP) පනත” ගැසට් පත්‍රයේ පලකර තිබෙනවා. එය 2027 වසර මුලදී පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. රජයට කොටස් හිමි සමාගම් කාර්‍යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා පරිපාලක සමාගමක් (holding company) සංස්ථාපනය කිරීමට “රජය සතු වාණිජ ව්‍යාපාර කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත” මේ වන විට නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා. මේ වන විටත් ඒ සඳහා රජය සතු සමාගම් 34 ක් හඳුනාගෙන තිබෙනවා. ආයෝජකයන්ට අයත් ආයෝජන, වත්කම් ප්‍රවර්‍ධනය කිරීම සහ ආරක්ෂා කිරීමත්, සාධාරණ හා සමාන සැලකීමක් ලැබීම සහතික කිරීමටත්, වන්දි ගෙවීම, ආරවුල් විසඳීම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීමත් සඳහා “ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත” මේ වන විටත් නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා. කොළඹ වරාය නගරයට විදේශ ආයෝජන ආකර්‍ෂණය කිරීම හා ආයෝජකයන් හා එහි සේවයේ නියුතු වන්නන් සඳහා වැඩි පහසුකම් සැලසීම වෙනුවෙන් “කොළඹ වරාය නගරය ආර්‍ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත්” කෙටුම්පත නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා. වෘත්තීය රක්ෂණවේදීන්ගේ ගුණාත්මකභාවය ඇති කිරීම හා වෘත්තීය පුහුණුව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නව ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය “ශ්‍රී ලංකා වෘත්තීය රක්ෂණවේදීන්ගේ ආයතන පනත” කෙටුම්පත් කරමින් පවතිනවා. මෙම යුගයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ දත්ත හා තොරතුරුයි. ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා “ජාතික සංඛ්‍යාලේඛණ පනත” කෙටුම්පත් කරමින් තිබෙනවා. රේගු දෙපාර්‍තමේන්තුව වඩාත් කාර්‍යක්ෂම, විනිවිදභාවයෙන් යුක්තව, ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් “රේගු ආඥා (සංශෝධන) පනත”, 2027 වසරේ මුල්භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කරනවා. මේ වසරේ ඔක්තෝබර් මස සිට රේගුව කඩදාසි රහිත (Paperless) වැඩසටහන ක්‍රියාත්මක කර, සියවසක් පමණ භාවිත කරන ලද, එහි එක් අංශයක් වන ‘රේගු දිගු කාමරය (Custom Long Room&)’ ඩිජිටල් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් සහ තත්ත්ව පාලනය පිළිබඳ නියාමන ප්‍රමිතීන් විධිමත් කිරීම සඳහා “මූල්‍ය වාර්‍තාකරණ නියාමන (සංශෝධන) පනත” සංශෝධනය කරනවා. “නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත” ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවී තිබෙන දීර්‍ඝකාලීන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට සංශෝධනය කරනවා. මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මූල්‍ය ව්‍යාපාර විමර්‍ශනය කිරීම හා නඩු පැවරීම, ශක්‍යතාවය නොමැති මූල්‍ය ව්‍යාපාර වසා දැමීමේ අවශ්‍යතා බලගැන්වීමට, “මුදල් ව්‍යාපාර පනත” සංශෝධනය කරනවා. රාජ්‍ය වත්කම් කළමනාකරණයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “රාජ්‍ය දේපළ කළමනාකරණ පනත” ගෙන එනවා. ඵලදායී හා කාර්‍යක්ෂම ලෙස ආයෝජන හා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට අවශ්‍ය යහපත් වැඩ පරිසරයක් නිර්‍මාණය කිරීම, වෘත්තීයමය වගකීම හා වගවීම නිශ්චිතව හඳුනා ගැනෙන සේව්‍ය-සේවක සබඳතා ප්‍රවර්‍ධනය කිරීම අරමුණු කරගෙන දශක ගණනක් පුරා පැවති කම්කරු නීති වර්‍තමාන සමාජ හා ආර්‍ථික අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව ජාතික කම්කරු උපදේශන සභාව ද ඇතුළත්ව අදාළ පාර්‍ශ්වයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් නිර්‍දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. සිදුකළ යුතු අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් ආයෝජකයන් වෙත, රජයේ ඉඩම් ලබාදීමේ දී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට හා ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම, උත්පාදනය වන රැකියා ප්‍රමාණය හා ආයෝජනය සිදුකරනු ලබන ප්‍රදේශය අනුව ලබා දිය යුතු සහන සඳහා නිර්‍දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත්කර තිබෙනවා. ආයෝජන ප්‍රවර්‍ධනය සඳහා පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති වෘත්තිකයන්ගෙන් සමන්විත, 100% ක් භාණ්ඩාගාරය හිමිකම් දරන සමාගමක් පිහිටුවීමට අපේක්ෂා කරනවා. මෙම සමාගමට ද, Gov Tech ආයතන පිහිටුවීමේ දී සැලකිල්ලට භාජනය කරන ලද වෙළෙඳපොළට සරිලන වැටුප් හා දීමනා ලබාදීමට අපේක්ෂා කරනවා. වර්‍තමානය වන විට කැසිනෝ, ඔන්ලයින් සූදු ඇතුළු අනෙකුත් සූදු ගණයට ගැනෙන ක්‍රීඩා නියාමනය කිරීම සඳහා සූදු නියාමන අධිකාරිය මේ වන විටත් පිහිටුවා තිබෙනවා. විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි මේ වන විටත් සකස් කර අවසන් කර තිබෙනවා. තෝරාගත් භාණ්ඩ අපනයන කිහිපයක් වෙනුවෙන් මේ මස පස්වෙනිදා සිට, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබෙන ජාතික තනි වෙළෙඳ කවුළුව (National Single Window for Trade) පළමු අදියර ලෙස අපනයන ව්‍යාපාරිකයන් 2027 මුල භාගයේ දී ත්, ආනයන ව්‍යාපාරිකයන් හා ප්‍රති-නැව්ගතකිරීම් 2027 අග භාගයේ දී ත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රු. මිලියන 1,990 ක් වෙන් කර තිබෙනවා. ජාතික තනි ආයෝජන කවුළුව (National Single Window for Investment) නිර්‍මාණය කිරීම සඳහා උපදේශක සමාගමක් ලබා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවා, මේ වන විට එම ලංසු ඇගයීමට භාජනය කරමින් තිබෙනවා. එය ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ දේශසීමා ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ස්කෑනර් පද්ධතිය පුළුල් කිරීම සඳහා ශරීර ස්කෑන් කරන යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබා ගැනීම සඳහා රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. “වරායන් අතර වෙළෙඳ ගනුදෙනු” ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්‍මාන්තකරුවන් අපනයනට යොමුකිරීම සඳහා දැනට පවතින “අපනයන සඳහා ආනයන කරනු ලබන භාණ්ඩ බදු සහන සහිතව නිශ්කාෂණය” ක්‍රියාවලිය (TIEP) නවීකරණය කිරීමට යෝජනා කරනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජ්‍යයන් සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අප අපේක්ෂා කරනවා. ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා මේ වන විටත්, අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත්කර තිබෙනවා. චීනය සමග නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා කලාපීය විස්තීර්‍ණ ආර්‍ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සමග විස්තීර්‍ණ ආර්‍ථික හවුල්කාරී ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වෙනවා. අපනයන තරගකාරීත්වය, අපනයන විවිධාංගීකරණය සහ තිරසර නිෂ්පාදනය ප්‍රවර්‍ධනය කිරීම උදෙසා, 2027-2030 කාලය තුළ රු. මිලියන 3,430 ක යුරෝපා සංගම් ප්‍රදාන යටතේ “ශ්‍රී ලංකා-යුරෝපා සංගම් තිරසර වෙළෙඳ හා ආර්‍ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනවා. එමෙන්ම, ශක්‍යතා අධ්‍යයනයකින් පසු වෙනත් රටවල් සමග නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අප කටයුතු කරනවා. බලශක්තිය අනාගත ආර්‍ථික පරිවර්‍තනය, ජාතික ආරක්ෂාව, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්‍තනීය වෙනසක් අවශ්‍යයි. ස්ථාවර, අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම ඉලක්ක කරගත් බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්‍තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් මෙම අයවැයට ඇතුළත් කර තිබෙනවා. 6.1 විදුලිය අද වන විට අපේ ස්ථාපිත ධාරිතාවයෙන් 62% ක් පමණ පුනර්‍ජනනීය බලය වනවා. 2029 වන විට මෙය 69% දක්වා වැඩි කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. සූර්‍ය සහ සුළං බලශක්ති වැනි කාලගුණික හා ඍතුමය තත්ත්වය මත වෙනස් වන බලශක්ති ප්‍රභවයන් වැඩි වශයෙන් එකතු වන විට පද්ධතියේ ස්ථායිතා පාලනය පිළිබඳව අප වඩාත් අවධානය යොමු කළ යුතු වෙනවා. 2025 පෙබරවාරි මාසයේ සහ 2026 ඔක්තෝබර් මාසයේ ඇති වූ ජාතික විදුලි පද්ධතිය බිඳ වැටීම පද්ධති ආරක්ෂණ සංඛ්‍යාත පාලනය, විදුලි ප්‍රවාහ කළමනාකරණය සහ ජාලයේ ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ සිතා බැලීමට වැදගත් පාඩමක් වූවා. එවැනි සිදුවීම් නැවත වරක් ඇති නොවීමට අපගේ ජාල පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමට රු. බිලියන 26.5 ක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරනවා. පුනර්‍ජනනීය බලශක්තිය ඉහළ ප්‍රතිශතයකින් ජාතික පද්ධතියට එකතු වී ඇති අවස්ථාවල දී ජාල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට උපකාරී වන නව හබරණ සහ මන්නාරම යන ස්ථානවල 5MVA (මෙගාවෝල්ට් ඇම්පියර්) බැගින් වූ සමමුහුර්‍ත ධාරිත්‍රක දෙක බැගින් ස්ථාපනය කිරීම, පාදුක්ක 220KV ජාල උප පොළෙහි 300MVAr ධාරිතාවයෙන් යුත් STATCOM පහසුකම් ස්ථාපනය කිරීම, ලෝක බැංකු මූල්‍ය සහාය මත 2027 වසරේ ආරම්භ කොට 2029 වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පද්ධතියේ ඇති වන අස්ථාවර තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම හා හදිසි අවස්ථාවල දී කඩිනම් හා ඵලදායි තීරණ ගැනීම වෙනුවෙන් පුළුල් ප්‍රාදේශීය නිරීක්ෂණ පද්ධතියක් (Wide Area Monitoring System) ඇති කිරීම “ලෝක බැංකු තාක්ෂණික සහය ව්‍යාපෘතිය” යටතේ ක්‍රියාත්මක කරනවා. දහවල් කාලයේ අපට ලැබෙන අතිරික්ත විදුලිය ගබඩා කිරීම සඳහා අප මේ වෙනකොටත් බැටරි ගබඩා (BESS) හඳුන්වා දී තියෙනවා. 2026 වසරේ දී BESS හරහා පද්ධතියට 160MW ක් ලැබෙනවා. 2027 දී මේ ප්‍රමාණය 560MW ක්, 2029 වන විට සමස්ත ප්‍රමාණය 1,245MW ක් වන පරිදි සැලසුම් කරල තියෙනවා. 2026 වසරේ BESS පද්ධතිය සඳහා ලංසු කැඳවීමේ 160MW1 පළමු අදියරට තෝරාගත් මිල මසකට මෙගාවොට් එකකට රු. මිලියන 2.033 ක් වුණා. 2026 වසරේ දෙවැනි අදියරයේ මෙගාවොට් 250 කට ලංසු කැඳවීමේ දී ලැබුණු ලංසුව මසකට මෙගාවොට් එකකට රු. මිලියන 1.808 ක් දක්වා අඩු වී තිබුණා. ඒ අනුව තරගකාරී ලංසු කැඳවීම තුළින් මෙම වසරේ දීම මිල 11% කින් පමණ අඩු කරගැනීමට හැකිවී තිබෙනවා. පුනර්‍ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රවර්‍ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතා අවම කර ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින්, Net Plus ක්‍රමවේදය යටතේ බැටරි ගබඩා පහසුකම් සහිත වහල මත සූර්‍ය විදුලිබල පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට, බලශක්ති ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි මිලදී ගැනීම වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමට යෝජනා කරනවා. වහල මත සූර්‍ය විදුලිබල පද්ධති අලුතින් ස්ථාපනය කරන ගෘහස්ත පාරිභෝගිකයන්ට බැටරි ගබඩා ධාරිතාවය කිලෝවොට් එකක් සඳහා රු. 25,000 ක සහනාධාරයක් ලබා දෙනවා. මෙම සහනාධාරය කිලෝවොට් 10 ක් දක්වා උපරිම රු. 250,000 ක් සඳහා ලබා දීමට යෝජනා කරනවා. මේ වෙනුවෙන් රු. මිලියන 3,500 ක් ලබා දීමට යෝජනා කරනවා. සූර්‍ය බලශක්තිය ගබඩා කිරීම සඳහා යොදා ගැනෙන බැටරි සඳහා ආනයනයේ දී අය කරන වරාය හා ගුවන් තොටුපළ සංවර්‍ධන බද්ද (PAL) ඉවත් කිරීමට ද යෝජනා කරනවා. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ හදිසි අවස්ථාවක දී අතිරේක බලය සැපයීමේ අවශ්‍යතාවය දීර්‍ඝ කාලයක් තිස්සේ සැලසුම් කළත් ඒ සඳහා නිසි පියවර ගෙන නැහැ. එම අතිරේක බලය ලබා දීම සඳහා 30MW ක ධාරිතාවයෙන් යුත් BESS ඇති කිරීමට කටයුතු කරනවා. 2030 වන විට අවසන් කිරීමේ අරමුණෙන් කිලිනොච්චිය සිට නව හබරණ දක්වා 400KV උතුර ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයේ මූලික වැඩ කටයුතු සඳහා රු. මිලියන 500 ක් වෙන් කර තිබෙනවා. සම්ප්‍රේෂණ මාර්‍ගය ඉදිකිරීමට AIIB මූල්‍ය සහය ඩොලර් මිලියන 150 ක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. නොරොච්චෝලේ – වාරියපොල, මොනරාගල – හම්බන්තොට, දක්වා වන 220KV සම්ප්‍රේෂණ මාර්‍ග 2 හා නව හබරණ – කිරිඳිවැල 400KV සම්ප්‍රේෂණ මාර්‍ග ඉදිකිරීම සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අපේක්ෂා කරනවා. 2027 වසරේ, ආසියානු සංවර්‍ධන බැංකුවේ, ඩොලර් මිලියන 12 ක මූල්‍ය ප්‍රදානයක් මත විදුලි ඒකක 180 ට වඩා වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3 කට නොමිලේ සුහුරු මීටර් ලබා දෙනවා. LECO මගින් සේවා සපයන ප්‍රදේශවල ඒකක 120 ට වඩා වැඩියෙන් භාවිත කරන සියලු විදුලි පාරිභෝගිකයන්ට සුහුරු මීටර් ලබා දෙනවා. 2029 වන විට සුළං බලයෙන් ජනනය වන නව ධාරිතාව 370MW ක් පද්ධතියට එකතු කරනවා. ඉන් 2027 වසරේ 50MW ක් එක් කිරීමට කටයුතු කරනවා. 2029 වසර අවසන් වන විට සුළං බලයෙන් ජනනය වන ස්ථාපිත ධාරිතාවය 674MW දක්වා වැඩි වනවා. ජලාශ මත පාවෙන සූර්‍ය පැනල ස්ථාපිත කිරීම වෙනුවෙන් රන්දෙණිගල, දැඳුරු ඔය, රිදියගම, අම්බලන් ඔය, කාසල්‍රී, චන්ද්‍රිකා වැව, කිරි ඉබ්බන් ආර ආදී ජලාශ 10 ක් තෝරාගෙන තියෙනවා. මේවායේ ජල පෘෂ්ඨක 10% ක් හෝ ඊට අඩුවෙන් භාවිතා කර සූර්‍ය පැනල සවිකිරීමෙන් 500MW ක පමණ විදුලි ප්‍රමාණයක් ජනනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති රජය හා පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබනවා. පෞද්ගලික අංශයේ ආයෝජන යෝජනා කැඳවීමට 2027 ජනවාරි මාසයේ දී කටයුතු කරනවා. විදුලිය බිඳවැටීම් කළමනාකරණය කිරීමට, විදුලිබල ජාලය ප්‍රශස්තකරණයට, විදුලි ඉල්ලුම කළමනාකරණයට, සුර්‍ය බලශක්ති සම්පත් හා වෙනත් විසිරි බලශක්ති සම්පත් විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමට හා කළමනාකරණය කිරීමට සහ දත්ත පාදක විදුලිය බෙදාහැරීමේ පද්ධති සැලසුම්කරණය බලගැන්වීම සඳහා බෙදාහැරීම් පාලන මධ්‍යස්ථාන (Distribution Control Center) 4 ක්, කුලියාපිටිය, පේරාදෙණිය, බත්තරමුල්ල සහ දෙහිවල ස්ථාපනය කරනවා. 6.2 ඛණිජ තෙල් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්‍ධන අධිකාරිය (PDASL) විසින්, බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මන්නාරම් ද්‍රෝණියේ, කොටස් 4 ක් සඳහා, තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනයට (Sri Lanka Licencing Round 2026) ලංසු කැඳවා තිබෙනවා. 2027 පෙබරවාරි 2 වන දින ලංසු විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්ධන ගබඩා ධාරිතාව වර්‍ධනය කිරීම සඳහා කොළොන්නාව ඛණිජ තෙල් සංකීර්‍ණයේ, 2025 වසරේ දී රු. මිලියන 3,746 ක ආයෝජනයෙන් ධාරිතාව 64,000ප3 වන ටැංකි 6ක්, මෙම වසර අවසානයේ දී, රු. මිලියන 1,446 ක ආයෝජනයෙන් 22,000ප3 ක් වන ටැංකි දෙකක්, මුතුරාජවෙල ගබඩා පර්‍යන්තයේ 2026 සැප්තැම්බර් මාසයේ දී රු. මිලියන 3,786 ක ආයෝජනයෙන් 40,000ප3 ක ටැංකි 3 ක් ඉදිකරනවා. මේ අනුව, අපගේ ගබඩා ධාරිතාව 126,000ප3 කින්, දින 45 ක අවශ්‍යතාව දක්වා වැඩි වෙනවා. තෙල් නැවෙන් ගොඩබෑමට යන කාලය පැය 96 සිට පැය 48 දක්වා අඩු කරගැනීමේ අරමුණෙන්, රු. මිලියන 16,332 ක ආයෝජනයෙන් කොලොන්නාව සිට වරාය දක්වා නළ පද්ධතියක් ඉදිකිරීමට ලංසු කැඳවා තිබෙනවා. මෙය මාස 18 කින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස සංවර්‍ධනය කිරීමේ යෝජනාවට අනුකූලව මිලියන 22,340 ක ආයෝජනයෙන්, මුතුරාජවෙල ඛණිජ තෙල් පර්‍යන්තයේ Jet AI ඉන්ධන සඳහා 92,000 ප3 ක ධාරිතාවයෙන් යුත් ටැංකි සංකීර්‍ණයක් හා මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර තොටුපළ වෙත ගුවන්‍යානා ඉන්ධන රැගෙන යන නළ මාර්‍ගයක් ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව දැනට පවතින දිනකට බැරල් 50,000 සීමාවේ සිට, බැරල් 100,000 ක ධාරිතාව දක්වා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉහළ නංවනවා. ඒ වෙනුවෙන්, මේ වන විටත් කැඳවා ඇති අභිලාෂයන් (EOI) පදනම් කරගෙන 2027 වසරේ දී යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවනවා. ඩිජිටල් යුගයක් කරා වූ ඩිජිටල් පරිවර්‍තනය සහ සංවර්‍ධනය ගරු කථානායකතුමනි, ඩිජිටල් පරිවර්‍තනය යනු තවදුරටත් හුදෙක් තාක්ෂණික මූලාරම්භයක් පමණක් නොව, රාජ්‍ය අංශයේ කාර්‍යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, පාලනය ශක්තිමත් කිරීම, ආර්‍ථික වර්‍ධනය සඳහා පහසුකම් සැලසීම, සහ සෑම පුරවැසියකුටම රජයේ සේවා වෙත ප්‍රවේශ විය හැකි බව තහවුරු කිරීම සඳහා වන මූලික අවශ්‍යතාවයකි. රාජ්‍ය පරිපාලනයේ නව්‍යකරණය, රජයේ කටයුතුවල කාර්‍යක්ෂමතාවය හා පාරදාශ්‍යභාවය වැඩිදියුණු කිරීම හා ආයතනික ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා වන මූලික මෙවලමක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන ඇත. මෙම ක්ෂේත්‍රය වර්‍තමාන ලෝකයේ වර්‍ධනය වී ඇති තත්ත්වයට ළඟා වීම අභියෝගාත්මක මෙන්ම බහුවිධ ක්‍රියාවලියකි. එමෙන්ම මෙම ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් පවතින බැවින්, මෙහි සැබෑ ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට නම් ප්‍රථමයෙන්ම ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික ව්‍යුහය ගොඩනැඟිය යුතු වේ. රාජ්‍ය භාණ්ඩාගාරයේ 100% ක හිමිකාරීත්වය යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා වූ මාර්‍ගෝපදේශනය හා ක්‍රියාවට නැංවීම සඳහා Gov Tech ආයතනය ස්ථාපිත කර දැනටමත් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) සංශෝධන කොට, දත්ත ආරක්ෂණ අධිකාරිය මේ වෙන විට පිහිටුවා සක්‍රීය කර තිබෙනවා. ඩිජිටල් ආර්‍ථික අධිකාරිය හා ජාතික ඩිජිටල් ආර්‍ථික කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත (Digital Economy Bill) 2027 වසරේ මුල් කාර්‍තුවේ දී සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ක්ෂේත්‍රයේ වර්‍ධනයත් සමග අත්‍යවශ්‍ය වන සයිබර් ආරක්ෂණය සඳහා වූ සයිබර් ආරක්ෂණ පනත (Cyber Security Bill) නීතිපති වෙත නිෂ්කාශනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ඒ යටතේ, 2027 වසරේ දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් මිලදී ගැනීමේ දී ගැටලුසහගත තත්ත්වයක් තිබෙනවා. එහෙයින්, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් සඳහා විශේෂිත වූ රජයේ ප්‍රසම්පාදන මාර්‍ගෝපදේශ සකස් කොට මේ වන විටත් ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, 2027 මුල් භාගයේ දී මෙම ප්‍රසම්පාදන මාර්‍ගෝපදේශ හඳුන්වා දීමට හැකිවෙනවා. ඩිජිටල් ආර්‍ථික ක්ෂේත්‍රයේ නව පරිවර්‍තනයක් වෙනුවෙන්; ජාතික AI ධාරිතාවන් ගොඩනැඟීම සහ වගකීම් සහගත ලෙස AI භාවිතය ප්‍රවර්‍ධනය කිරීම සඳහා රජය, විද්වත් ප්‍රජාව සහ කර්‍මාන්ත ක්ෂේත්‍රයන් එකම වහලක් යටට ගෙන එමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රය (National Artificial Intelligence Centre of Excellence) විජේරාම මාවතේ පිහිටුවීම; ඩිජිටල් පොදු යටිතල පහසුකම් හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රමිතියට සමාන්තරව, මෘදුකාංග ප්‍රසම්පාදනයේ දී අලුතින් නිපදවීමට පෙර ප්‍රමිතිගත විසඳුම් මිලදී ගැනීම සහ පොදු භාවිතයට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තිය (Shared Platform First and Buy Before Build Policy) ස්ථාපිත කිරීම; Lanka Government Cloud (LGC) පද්ධතිය LGC 2.0 සිට LGC 3.0 දක්වා පුළුල් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සඳහා වූ ස්වෛරී යටිතල පහසුකම්වල මූලික පදනම ස්ථාපිත කිරීම; පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල
99mobile