
අනෝජන් සිවරාසා නිදහස්! ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර
FM Heart · 2 min read
සෞදි අරාබියේ අධිකරණය හමුවේ චෝදනාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා නිදහස් කර තිබේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු මේ සඳහා මැදිහත් වූ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිවැරදි මඟපෙන්වීම, අමාත්‍ය විජිත හේරත් මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සහ සෙසු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හේතුවෙන් අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මේ සඳහා සහාය දැක්වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන සහ නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියට ගොස් මේ වෙනුවෙන් මැදිහත් වූ නීතිඥ කණ්ඩායමට ද එහි ගෞරවය හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 2026 සැප්තැම්බර් 17 වැනිදා නැගෙනහිර කලාපයේ සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කර තිබුණේ අපහාසාත්මක යැයි සැලකුණු ෆේස්බුක් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලට අදාළවය. කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික හා වෙනත් මැදිහත්වීම් හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා එම මරණ දඬුවම සෞදි අධිකරණය විසින් අහෝසි කරනු ලැබීය. අනතුරුව ඔහුට පනවා තිබූ සෙසු දඬුවම්වලින් ද නිදහස් කර ගැනීම සඳහා අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහුට සම්පූර්‍ණ නිදහස හිමිව තිබේ. තවදුරටත් මෙම අධිකරණ කටයුතු ඉදිරියට ගෙන නොයෑමට සෞදි අරාබියේ අභිචෝදක කාර්‍යාලය 2026 නොවැම්බර් 09 වැනිදා තීරණය කර තිබේ.

