
ඉරාන මිසයිල යුරෝපයට ඉලක්ක කරයි..
FM Heart · 2 min read
ලෙබනනයේ ක්‍රියාත්මක අල්-මයදීන් නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාවන්ට කඳවුරු සහ පහසුකම් සපයන රටවල් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා කිසිසේත්ම සහාය නොදිය යුතු බවයි. "ඇමෙරිකානුවන් යළිත් වැරැද්දක් කරමින් අපට පහර දුන්නොත්, අපි මැදපෙරදිග ආසන්න කඳවුරුවලට පමණක් පහරදී සීමා වන්නේ නැහැ. යුරෝපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පවා ප්‍රහාර එල්ල කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ. ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකානු ගුවන් යානා කුමන හෝ කඳවුරකින් ගුවන්ගත වුවහොත්, එම සියලු ස්ථාන අප සලකන්නේ අපට එරෙහි තර්ජනයක් ලෙසයි," යනුවෙන් ඔහු පැවසීය. ඉරානයේ දිගුදුර බැලස්ටික් මිසයිල ළඟාවිය නොහැකි යැයි බටහිර රටවල් සිතා සිටින ඈත දූපත්වල මූලස්ථාන වෙත ද පහරදීමේ සූදානමක් පවතින බව රෙසායි මෙහිදී අනාවරණය කළේය. පසුගිය යුද ගැටුම්වලදී සිය ප්‍රහාර ඊශ්‍රායලයට සහ කලාපීය ඇමෙරිකානු කඳවුරුවලට පමණක් සීමා කළ ද, භූගෝලීය සීමාවකින් තොරව ඕනෑම ස්ථානයකට පහරදීමට ඉරාන සන්නද්ධ හමුදාවන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් වේ. ඒ අනුව බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව යන රටවල පිහිටි ඇමෙරිකානු සහ නේටෝ කඳවුරු මෙන්ම ඉන්දියන් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ඒකාබද්ධ ‘ඩියාගෝ ගාර්සියා’ යුද කඳවුර ද ඉරානයේ නව ඉලක්ක අතර පවතින බව හෙළිව ඇත. කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවටත්, තමන් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවීමට සැලසුම් කර ඇති බවටත් පළවන වාර්තා "පට්ටපල් බොරු" යැයි පවසමින් මොහ්සෙන් රෙසායි ඒවා තරයේ ප්‍රතික්ෂේප කළේය. ආර්ථික පීඩනය ලිහිල් කර තෙල් මිල පහත දැමීමේ අරමුණින් බටහිර පාර්ශ්ව මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව හෙතෙම කියා සිටියේය. ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම ඇතුළු කොන්දේසි 07ක් ඉටු වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවත්, ඉරානය සතු ඉහළ සාන්ද්‍රණයකින් යුත් පොහොසත් යුරේනියම්වලින් අංශු මාත්‍රයක් හෝ රටින් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව, විද්‍යුත් යුද මෙහෙයුම් මඟින් පියාසර කරමින් තිබූ ඇමෙරිකානු ඩ්‍රෝන යානා 07ක් අනතුරකින් තොරව බිමට බෑමටත්, මීටර් 6,000ක් ගැඹුරට යා හැකි ඇමෙරිකානු දියයට යාත්‍රා 02ක් අත්පත් කර ගැනීමටත් ඉරාන හමුදාව සමත් වූ බවට ද ඔහු අනාවරණය කළේය.

