FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මලේ නඩුව අහන්න විනිසුරු දන්නෙ නෑ.. අපේ නඩු අහන්න වෙනම අධිකරණයක් ඔ්නෑ..- කස්සප හිමි

FM Heart · 2 min read

The Heart Academy
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේ උපවාසයේ නිරතව සිටින අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය පිළිබඳව හෝ මූලික අධ්‍යයනයක් තිබිය යුතු බවයි. බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ මූලික වගකීම බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබියදීත්, අධිකරණය සහ පොලිසිය ඊට පටහැනිව කටයුතු කර ඇතැයි උන්වහන්සේ චෝදනා කළහ. එමෙන්ම මහා සංඝරත්නය සම්බන්ධ ආරවුල් විභාග කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය ප්‍රකාරව වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවත්, පවතින මහේස්ත්‍රාත් අධිකරණයට භික්ෂූන් සම්බන්ධ නඩු ඇසීමට නෛතික බලයක් නැති බවත් කස්සප හිමියෝ එහිදී අවධාරණය කළහ. මීට පෙර මෙම නඩුවට අදාළව තමන් වහන්සේ ඇතුළු පිරිස මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව සිහිපත් කළ උන්වහන්සේ, අවම වශයෙන් බෞද්ධ විනය නීතිවලට අනුව දහවල් 12ට පෙර දානය ලබාගැනීමට හෝ අධිකරණයෙන් සහනයක් නොලැබුණු බව ද පැවසූහ. ත්‍රිකුණාමලයේ සිදුවූ අදාළ සිදුවීම පිළිබඳව විස්තර කරමින් උන්වහන්සේ සඳහන් කළේ, බෞද්ධ කටයුතු දෙපාර්‍තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක පෞරාණික දහම් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට යාමේදී, රජයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව තමන්ට පහරදී බුද්ධ ප්‍රතිමාව පැහැරගෙන ගොස් අනවසර ඇතුළුවීමක් ලෙස ව්‍යාජ නඩු ගොනුකළ බවයි. ත්‍රිකුණාමලය වෙරළ සංරක්ෂණ කලාපයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට අනවසර ඉදිකිරීමක් සිදුකර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන්, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. මෙම වරෙන්තුව නිකුත් කෙරෙන අවස්ථාව වන විටත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුර පූජා භූමි සංවර්‍ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා රුවන්වැලිසෑ පරිශ්‍රයේ දන්සල් භූමිය අසල මාරාන්තික උපවාසයක නිරතව සිටියේය. එම විරෝධතා භූමියෙන් ඉවත් වන ලෙස ද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර තිබූ පසුබිමක, විවෘතව මහේස්ත්‍රාත්වරයකුගේ අධිකරණ බලය සහ ක්‍රියාකලාපය මෙලෙස විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමේ බරපතළ නෛතික වරදක් විය හැකි බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
99mobile