
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිර දඬුවම ගැන බෙදුණු තීන්දුවක්... අද ඉරණම විසඳීම සභාපති විනිසුරුට!
FM Heart · 2 min read
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධියකට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් වීම හේතුවෙන්, එය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අද (නොවැම්බර් 11) කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. අභියාචනා පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එය විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (10) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. එහිදී විනිසුරු පී. කුමාරන් රත්නම් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මඩුල්ලේ තීන්දුව බෙදුණු තීන්දුවක් වන බැවින් සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනය සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බවයි. මෙම අවස්ථාව සඳහා ඇප මත මුදාහැර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍රද අධිකරණය හමුවේ පෙනී සිටියාය. සිද්ධියට අදාළව 2015 දෙසැම්බර් 21 වන දින දෙමටගොඩ වෙළෙඳසැළක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ ආධාරකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී. නඩු විභාගය අතරතුර ඇයගේ ආධාරකරුවන් චෝදනාවලට වරද පිළිගත් අතර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එලෙස වරද පිළිගැනීමෙන් තොරව නඩු විභාගයකට මුහුණ දී තිබිණි.

