
ජොන්ස්ටන්ට දඬුවම් නියම කිරීම කල් දමයි...
FM Heart · 1 min read
කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෝටර් රථ වාහන ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. එම චෝදනාවලට අදාළව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් ඔක්තෝබර් මස 28 වැනිදා අධිකරණය හමුවේ විවෘතව වරද පිළිගත්තේය. ඒ අනුව ඔහුට අදාළ දඬුවම නියම කිරීම අද දිනට නියමිතව තිබුණි. නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තිකරු චෝදනාවලට වරද පිළිගෙන ඇති බැවින් නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති අදාළ සුඛෝපභෝගී මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පෙර නඩු දිනයේදීම වරද පිළිගැනීමට එකඟතාව පළ කළ බව අධිකරණය හමුවේ සඳහන් කළේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම සහ වාහනය සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීය.

