
ට්‍රම්ප්ගේ කතාවෙන් පසු කොළඹ කොටස් පිම්මේ උඩ යයි...
FM Heart · 2 min read
ගෝලීය භූ-දේශපාලනික අවිනිශ්චිතතාව පහව යාමත් සමඟ ආයෝජකයන් දැක්වූ ඉහළ උද්යෝගය හේතුවෙන් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 592.02 කින්, එනම් සියයට 2.75 කින් ඉහළ ගොස් ඒකක 22,123.39 ක් ලෙස සටහන් විය. එමෙන්ම වඩාත් ප්රමුඛ සහ සක්‍රීය සමාගම් විස්ස නියෝජනය වන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ (S&P SL20) දර්ශකය ද ඒකක 224.97 කින් හෙවත් සියයට 3.66 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 6,368.12 ක් දක්වා ඉහළ ගියේය. දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7.95 ක් ඉක්මවා ගිය අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගයන් අතරට එක්විය. දිනය තුළ කොටස් 253,922,597 ක් හුවමාරු වී තිබූ අතර සිදු වූ සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 44,300 කි. ගනුදෙනු ආරම්භයේ සිටම ප්‍රධාන පෙළේ සමාගම් රැසක කොටස් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගිය අතර, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ද දැඩි ලෙස කොටස් මිලදී ගැනීම්වල නිරත වූ බව තැරැව්කාර සමාගම් වාර්තා කරයි. පසුගිය කාලය පුරා ඇමෙරිකාව සහ ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, නාවික ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාමේ බරපතළ අවදානමක් මතුව තිබිණි. එමගින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල උද්ධමනය යළි ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කළහ. කෙසේ වෙතත්, යුද ගැටුම් නිමාවට පත්වන බවට ලැබුණු සංඥාව සමඟ ගෝලීය වෙළෙඳපොළ සන්සුන් වූ අතර, එහි සෘජු වාසි සහගත බලපෑම මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ද හිමිව තිබේ.

