
බලය ගන්න කලින් කියපුවා බලය ගත්තට පස්සෙ මතක නෑ..- මල්වතු අනුනාහිමි
FM Heart · 3 min read
දිවයින පුරා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ වෘත්තීය ගැටලු සහ උසස්වීම් අහිමිවීමේ අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදී අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී අදහස් දැක්වූ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වා දුන්නේ, බලය ලබාගැනීමේ අරමුණින් ඡන්දය ඉල්ලන දේශපාලනඥයන්, පාලන බලය අතට ගත් පසු සියලු වගකීම් පැහැරහරිමින් ජනතාව දැඩි අසීරුතාවට පත්කරන බවයි. ‘මේ දක්වා බලයට පත්වූ සෑම ආණ්ඩුවක් වගේම බලය ලබා ගැනීමට පෙර විවිධ පොරොන්දු ලබා දුන්නත් ඒවා ඉටුකරන්න යනකොට තමයි තේරෙන්නේ ලබා දුන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා. සමහර දේශපාලඥයෝ පොරොන්දු වුණා හඳෙන් හරි ඇට අටක් ගෙනල්ල දෙනව කියල. මේ අය කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. මේ රටේ උපාධිධාරීන් රැකියා ලබා දෙන්න කියලා උද්ඝෝෂණය කරනකොට තමයි ක්ෂණිකව සංවර්ධන නිලධාරි කියල තනතුරක් හදලා රැකියා දුන්නේ. එහෙම නැතුව විධිමත් සැලැස්මක් ඇතිව නෙවෙයි මේ රැකියා දීලා තියෙන්නේ. මේ නිලධාරීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. කියන විදියට කොයි තරම් කාලයක් වැඩ කළත් බඳවා ගත්ත තනතුරේම තමයි විශ්‍රාම යන්න වෙලා තියෙන්නේ. කිසිම රජයේ සේවකයෙකුට එහෙම නෑ. හැම කෙනාටම කාලයක් යනකොට උසස් වීම්, වැටුප් වැඩිවීම් සිදුවෙනවා. මේ කණ්ඩායමටත් එහෙම සාධාරණයක් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අදාළ වගකිව යුත්තන්ට දැනුම් දෙන්න අපි පියවර ගන්නම්.’’ රජය විසින් විශ්වවිද්‍යාල හරහා උපාධිධාරීන් බිහිකළ ද, ඔවුන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් නිසි ඵලදායී සේවයක් ලබාගැනීමට හෝ ඔවුන්ට පැහැදිලි වෘත්තීය අනාගතයක් නිර්මාණය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම ජාතික අපරාධයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සෞඛ්‍ය ක්ෂේත්රය ඇතුළු සෙසු ක්ෂේත්රවල නිලධාරීන්ට මෙන් සංවර්ධන නිලධාරීන්ට ද නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් විය යුතු බවත්, තරග විභාගයක් පවත්වා හෝ සුදුස්සන් ඉහළ තනතුරු සඳහා උසස් කිරීමට පියවර ගත යුතු බවත් පැවසූ අනුනාහිමියෝ, මෙම කරුණු මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද අවධානයට යොමුකර රජයට ඉදිරිපත් කිරීමට මැදිහත් වන බවට සහතික වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී උපාධිධාරීන් 7,500ක් රුපියල් 250ක මාසික වැටුපකට ගුරු සේවයට එක්කර, වසර පහක දුෂ්කර සේවයක් ලබාගනිමින් ඔවුන්ගේ බැංකු ණය පවා ගෙවා දැමීමට පහසුකම් සැලසූ ඓතිහාසික ක්‍රමවේදය ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ. මෙම හමුවේදී අනුනාහිමියන් හමුවේ කරුණු දැක්වූ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ, මධ්‍යම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම පළාත් සභා ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පුරා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් එක්ලක්ෂ පනස් දහසකට (150,000) ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටින බවයි. 2012 වසරේදී සේවා ව්‍යවස්ථාවක් සකස් කර තමන්ව සේවයට බඳවා ගත්ත ද, එම ව්‍යවස්ථාව තුළ කිසිදු උසස්වීම් පටිපාටියක් ඇතුළත් කර නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයට එක්වන උපාධිධාරියෙකුට වසර 35ත් 40ත් අතර කාලයක් සේවය කර විශ්‍රාම යාමට සිදුව ඇත්තේ ද එම තනතුරෙන්ම බවත්, රාජ්‍ය සේවය තුළ තීරණ ගැනීමේ හෝ පරිපාලනමය බලතල නොමැතිවීම නිසා රටට ඵලදායී සේවයක් කිරීමට ඇති හැකියාව මුළුමනින්ම ඇණහිට ඇති බවත් ඔවුහු පැවසූහ. වෘත්තීය සමිති 12ක එකමුතුවක් ලෙස ගම්මට්ටමේ සංවර්ධන රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාලවල සේවය කරන නිලධාරීන් ඉලක්ක කරගනිමින් නව සේවා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් සකස් කර ඇති බව පැවසූ නියෝජිතයෝ, එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත් ද්විත්වය අනුනාහිමියන් වෙත නිල වශයෙන් පිළිගැන්වීමට පියවර ගත්හ.

