FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එල් නිනෝ ලැව්ගිනි අතරතුර ඉන්දුනීසියාවෙ තවත් හෙලිකොප්ටර් අනතුරක්

FM Heart · 2 min read

The Heart Academy
දකුණු කාලිමන්තාන්හි ලැව්ගිනි මර්‍දනය කිරීමේ මෙහෙයුමක නිරත වූ හෙලිකොප්ටර් යානයක් ගංගාවකට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ නියෝජිතායතනය පැවසුවේ යානයේ සිටි අනෙක් දෙදෙනා වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතිකයන් දෙදෙනා ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි. අනතුර සම්බන්ධයෙන් විමර්‍ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, ලැව්ගිනි නිවීමේ මෙහෙයුම් දිගටම පවත්වාගෙන යන බවත් එම නියෝජිතායතනය පැවසුවා. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් උග්‍ර වී ඇති වියළි කාලගුණයත් සමග හටගත් ලැව්ගිනි හේතුවෙන් මෑත මාස කිහිපය තුළ ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක වනාන්තර සහ පීට් පස් සහිත භූමි ගිනිගැනීමට ලක්ව තිබෙනවා. ඉන් නැගුණු විශාල විෂ සහිත දුම් වලාවන් ගිනිකොනදිග ආසියාවේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඉන්දුනීසියානු ආපදා බලධාරීන් විසින් නිකුත් කරන ලද සහ සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝ දර්‍ශනවල දැක්වෙන්නේ, ගිනි නිවීම සඳහා වතුර ගෙන යන බාල්දියක් සහිත හෙලිකොප්ටර් යානයක් ගංගාවට ඉහළින් පාවෙමින් තිබියදී එකවරම දිය යටට කඩා වැටෙන ආකාරයයි. තවත් වීඩියෝ දර්‍ශනවල දැක්වෙන්නේ මුදාගැනීමේ කණ්ඩායම් බෝට්ටුවකින් පැමිණ අර්‍ධ වශයෙන් දියේ ගිලී තිබූ හෙලිකොප්ටර් යානය වෙත ළඟාවන ආකාරයයි. අනතුරට ලක්වූ ‘Super Puma H-225’ වර්‍ගයේ මෙම හෙලිකොප්ටර් යානය ආපදා බලධාරීන් විසින් ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා ගිවිසුම්ගතව ලබාගත් පෞද්ගලික සමාගමකට අයත් එකක් බව ආපදා නිලධාරියෙකු පවසා තිබෙනවා. මධ්‍යම කාලිමන්තාන්හි ලැව්ගිනි නිවීමේ මෙහෙයුමකදී තවත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී කාර්‍ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් දින කිහිපයකට පසුව මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. .
99mobile