FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ටිපර් – මෝටර් රථ එකිනෙක ගැටී පොලොන්නරුවේ – විශේෂඥ දොස්තර ජීවිතක්‍ෂයට

FM Heart · 2 min read

The Heart Academy
මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්‍ගයේදී මෝටර් රථයක් හා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පොලොන්නරුව මහ රෝහලේ සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ඉකුත් 06 වැනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව නව නගරයේ පදිංචිව සිටි රෝහණ ගමගේ නමැති 50 හැවිරිදි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාය. අනතුරින් බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී මියගොස් තිබේ. අනතුරින් ටිපර් රථෙය් රියදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට හබරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඉකුත් 6 වැනිදා පස්වරු 3.00ට පමණ මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්‍ගයේ කිලෝමීටර් 39 සහ 40 අතර හත්වැනි කණුව දේවාලය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී වෛද්‍යවරයා සිය මෝටර් රථයෙන් මින්නේරිය දෙස සිට හබරණ දෙසට ගමන් කරමින් සිට ඇති අතර වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය හබරණ දෙස සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් තිබී ඇත. මියගිය වෛද්‍යවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පොළොන්නරුව මහ රෝහලේදී සිදුකර තිබේ. අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බව මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුෂ පියදාස මහතා පැවසීය. ටිපරය පැදවූ හොරතල් පේඩිගේ සුදත් චන්දන විජේසූරිය රත්නායක නමැති 31 හැවිරිදි රියදුරු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය පසු අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට මින්නේරිය පොලිසිය කටයුතු කරමින් සිටී. මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුෂ පියදාස මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති. ඇලහැර – නිශ්ශංක වෙලගෙදර
99mobile