FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහවැලි ගගේ ගංවතුර අවදානමක්.. කොත්මලේ උතුරන්න ආසන්නයි..

FM Heart · 2 min read

The Heart Academy
මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ වේල්ල හා ජලාශ කාර්‍යාලය) විසින් අද (26) නිකුත් කරන ලද නිල වාර්‍තාවකට අනුව, අද මධ්‍යාහ්නය වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 696.96 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ජලාශයේ සමස්ත ධාරිතාවෙන් සියයට 78.71 ක ප්‍රතිශතයකි. කොත්මලේ ජලාශයේ උපරිම ජල ධාරිතා මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 703.00 ක් වන අතර, ජලාශය වාන් මට්ටමට ළඟා වීමට ඉතිරිව ඇත්තේ ඝන මීටර් මිලියන 36.381 ක (36.381 MCM) අවකාශයක් පමණක් බව කාර්‍යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජලාශ) ඊ.එම්.ඊ.කේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලාශයට ලැබෙන ජල ධාරිතාව අඛණ්ඩව ඉහළ ගියහොත් ඉදිරියේදී වාන් දොරටු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බැවින්, ජලාශයෙන් පහළ කොත්මලා ඔය නිම්නයේ පිහිටි නුගවෙල, රිවර්‍සයිඩ් සහ මාවතුර යන ප්‍රදේශවල මෙන්ම මහවැලි ගඟ දෙපස උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හරහා පොල්ගොල්ල දක්වා වූ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවිය යුතු බව එම නිවේදනයේ අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, වාන් දොරටු විවෘත කිරීමට පෙර ඒ පිළිබඳව යළි නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බවද බලධාරීහු පවසති. මීට අමතරව, මහවැලි ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්‍ෂාව හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක නොකළද පහළ ගංගා නිම්නයේ ජල මට්ටම ඉහළ ගොස් පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පූර්‍ව සූදානමකින් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම හදිසි තත්ත්වය පිළිබඳව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල (උඩපළාත, උඩුනුවර, දෙල්තොට, කොත්මලේ නැගෙනහිර/බටහිර, පස්බාගේ කෝරළේ) මෙන්ම ගම්පොළ, ඇත්ගාල, දවුලගල, පේරාදෙණිය, කටුගස්තොට සහ නාවලපිටිය යන පොලිස් ස්ථාන වෙතද දැනුම් දී ඇත.
99mobile